Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 සංචිතයෙන් විලියම්සන් – කොන්වේ දෙදෙනාම ඉවතට

කණ්ඩායම් හිමිකරුවන්ගේ තරගාවලි (ෆ්‍රැන්චයිස් ක්‍රිකට්) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා කේන් විලියම්සන් සහ ඩෙවොන් කොන්වේ දෙදෙනාටම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සීමිත ඕවර (එක්දින සහ විස්සයි-20) ක්‍රිකට් තරගාවලි අහිමි වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැති සීමිත ඕවර තරගාවලියේදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ සකාරි ෆෝක්ස්, කඩුලු රකින්නා වන මිචෙල් හේ සහ ටිම් රොබින්සන් තිදෙනාටම නැවත වරක් නවසීලන්ත විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර වී තිබේ.

ඔවුන් තිදෙනාට අමතරව මැද පෙළ පිතිකරුවකු ලෙසින් බෙවන් ජේකබ්ස් සංචිතයට කැඳවා ඇතත් ඔහු තවමත් නවසීලන්ත හිස්වැස්ම පැළඳ නැති කෝඩුකාරයෙකි. ජේකබ්ස් කෝඩුකාරයකු වුවද, මුම්බායි ඉන්දියන්ස් පිල විසින් 2025 අයි.පී,එල්. තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටී. කැන්ටබරි ප්‍රාන්තය නියෝජනය කරන 22 හැවිරිදි බෙවන් සීමිත ඕවර තරග මෙන්ම පළමු පෙළ තරගත් ක්‍රීඩා කරයි.

ටොම් ලෙතම්, විල් යංග් සහ උස වේග පන්දු යවන්නා වන විලියම් ඕ’රූක් එක්දින තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට එකතු වන ඇත. එක්දින තරගාවලියේදී කඩුලු රැකීමේ අත් ආවරණ ටොම් ලෙතම් විසින් බාරගැනීමට නියමිතය. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 8 කදී ක්‍රීඩා කළ බැවින් විලියම් ඕ’රූක්ට විස්සයි-20 තරගාවලියේදී නිවාඩුවක් ලැබී තිබේ.

නවසීලන්ත කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් වන ලොකී ෆර්ගසන්, ෆින් ඇලන්, ඇඩම් මිල්න් සහ ටිම් සේෆර්ට් යන සිව් දෙනාම ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ‘බිග් බෑෂ් ලීග්’ තරගාවලියට සහභාගි වෙති. ජනවාරි 9 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට (එස්.ඒ.20) සහභාගි වන හෙයින් කේන් විලියම්සන් සහ ඩෙවොන් කොන්වේ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට තෝරාගනු ලැබ නැත.

කෙසේ වෙතත් විවේක ගැන්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැති සීමිත ඕවර තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත් නොවූ රචින් රවීන්ද්‍ර, ඩැරිල් මිචෙල් සහ මැතිව් හෙන්රි මෙවර සීමිත ඕවර තරගාවලිය සඳහා කැඳවා සිටිති. නවසීලන්ත සීමිත ඕවර කණ්ඩායමේ දෙකේම ස්ථාවර නායකයා වශයෙන් මිචෙල් සෑන්ට්නර් පත්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි-20 තරග මේ මස 28, 30 සහ ජනවාරි මස 02 වැනිදා පැවැත්වේ. ජනවාරි මස 5 වැනිදා ආරම්භවන එක්දින තරගාවලිය 5, 8 සහ 11 දිනවලදී පැවැත්වේ.

පසුගිය සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේ සිටම දීර්ඝ කාර්ය බහුල තරග කිහිපයකින් පසුව නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා විවේක ලබා සිටී. ඔහු වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියේදී නවසීලන්ත පිලේ පුහුණුකරුවා වශයෙන් ලූක් රොන්කි මහතා කටයුතු කරනු ඇත. ජේකබ් ඕරම් පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වන අතර ක්‍රෙග් මැක්මිලන් පිතිහරඹයේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

නවසීලන්ත විස්සයි-20 සංචිතය 
මිචෙල් සෑන්ට්නර් (නායකයා), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජේකබ් ඩෆී, සකාරි ෆෝක්ස්, මිචෙල් හේ, මැතිව් හෙන්රි, බෙවන් ජේකබ්ස්, ඩැරිල් මිචෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ටිම් රොබින්සන් සහ නේතන් ස්මිත්

නවසීලන්ත එක්දින සංචිතය 
මිචෙල් සෑන්ට්නර් (නායකයා), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජේකබ් ඩෆී, මිචෙල් හේ, මැතිව් හෙන්රි, ටොම් ලෙතම්, ඩැරිල් මිචෙල්, විලියම් ඕ’රූක්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, නේතන් ස්මිත් සහ විලියම් යංග්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button