Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා විස්සයි20 පිල හෙට නවසීලන්තය බලා පියාසර කරයි.

නවසීලන්තයේ තරග සංචාරයට එක්වීමට නියමිත විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත්ව සිටින අතර, එම කණ්ඩායම හෙට (20) නවසීලන්තය බලා පිටත්වයෑමට නියමිතය.

මේ සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා පිල අවසන් වරට පසුගිය මාසයේ දඹුල්ලේදී නවසීලන්තයට එරෙහිව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වූ අතර, දුනිත් වෙල්ලාලගේ එම තරගාවලියට ක්‍රීඩා කළේය.

මේ අතර එම සංචිතයේ සිටි දිනේෂ් චන්දිමාල් සංචිතයට එක් කර ඇති අතර, ඔහු අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මස ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේදීය.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 තරගාවලිය මේ මස 28 වැනිදා මවුන්ට් මුන්ගුනායිහි බේ ඕවල් පිටියේදී ආරම්භ වන අතර, දෙවැනි තරගයත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන්නේ මේ මස 30 වැනිදාය. ලබන වසර ආරම්භ කරමින් තරගාවලියේ අවසන් විස්සයි20 තරගය ලබන මස 2 වැනිදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතය. මේ තරගාවලියෙන් අනතුරුව දෙපිල තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පිල අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මස නවසීලන්තයේ සංචාරයක නිරත වූ අතර, එහිදී තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙසත්, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button