ශ්‍රී ලංකා සංචාරයට පෙර ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් 6කට විවේකයක් – සංචාරයට පෙර ඩුබායිවල පුහුණු සැසියක්ද පවත්වයි
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ මුල් පෙළේ ක්‍රීඩකයන් 6ක් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගනී. ක්‍රීඩකයන් හතරකට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බිග්බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීම සීමා කොට ඇති අතර, තවත් 4ක් එම තරගාවලියට නිදහස් කරමින් කණ්ඩායම කළමනාකරණයකට ලක් කොට තිබේ.
ට්‍රැවිස් හෙඩ්, ස්කොට් බෝලන්ඩ්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, නේතන් ලයන් හා මිචෙල් ස්ටාක් යන ක්‍රීඩකයන් බිග්බෑෂ් තරගාවලියට ක්‍රීඩා නොකර විවේක ගැන්වීමට නියම කොට ඇති අතර ස්ටීව් ස්මිත්ට බිග්බෑෂ් තරග 3ක්, මානස් ලබුචේන්ග්ට, උස්මාන් කවාජාට හා නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටාස්ට එක් තරගයකට අවසරදී ඇත. ඇලෙක්ස් කෙරී, බේ වබ්ස්ටාර්, මිචෙල් මාෂ් හා ජෙයි රිචඩ්සන් යන ක්‍රීඩකයන්ට බිග්බෑෂ් තරගාවලියට පූර්ණ අවසරය හිමිව තිබේ.
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය මේ මස 29 වැනිදා ආරම්භ වන අතර, 19 දා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල විශේෂ පුහුණු සැසියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. ඩුබායි ක්‍රීඩාංගණයේ පුහුණු සැසියෙන් පසු 20 වැනිදා ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණෙති.
මේ 29 සහ ලබන 6 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග දෙක ආරම්භවන අතර, එකම එක්දින ජාත්‍යන්තර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මස 13 වැනිදා පැවැත්වේ.
ඔස්ට්‍රේලියාව මේ වන විටත් ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔවුන් දකුණු අප්‍රිකාව සමඟ ලෝඩ්ස් පිටියේදී හමුවීමට නියමිතයි.