Cricket NewsEXCLUSIVEUnder-19Woman Cricket

ශ්‍රී ලංකා 19න් පහල යොවුන් බාලිකාවෝ ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් පරදවති

බාලිකා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී සාර්ථක දස්කම් පෙන්වූහ. පළමු වටයේදී දෙවැනි ස්ථානය දිනාගනිමින් සුපිරි හය දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා බාලිකාවෝ තරගාවලිය අවසන් කළේ අද (29 වැනිදා) පැවැති සුපිරි හය දෙනාගේ වටයේදී ඕස්ට්‍රේලියානු බාලිකාවන් ලකුණු 12 කින් පරාජය කරමිනි. 

ඕස්ට්‍රේලියානු  ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකාව හා තරගයට පෙරම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි නමුත් අද තරගයේදී ලද පරාජය නිසා ඕස්ටේ්‍රලියානුවන්ගේ අපරාජිත වාර්තාව රැකගැනීමේ අවස්ථාව අහිමි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් ශ්‍රී ලංකා බාලිකාවෝ සාර්ථක ආරම්භයයක් ලබාගත්හ. සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා එක්ව 8 වැනි ඕවරය වන විට ලකුණු 42 ක් පුවරුවට එක්කළහ. 14 වැනි ඕවරයේදී ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 77 ක් ලෙසින් සටහන් වූවත්, නායිකා මනුදි නානායක්කාර ලකුණු 15 කට දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටිණ.

දකුණත් වේග පන්දු යවන්නී ලිලී බැසිංවේට්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා බාලිකාවෝ ලකුණු 99 කට සීමා වූහ. සිය ඕවර හතර ලකුණු 07 ක සීමාකළ ලිලී බැසිංවේට්, නොයිඳුල් ඕවරයක් ද යැව්වාය.

ලිලී බැසිංවේට් (07/3), හස්රාට් ගිල් (18/2) සහ ටීගන් විලියම්සන් (19/2) ලකුණු 100 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අවස්ථාව නොදුන් නමුත් ලිමන්සා තිලකරත්න සහ අශේනි තලගුණේ එක්ව ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය ලකුණු 100 ක් කළහ.

ඕස්ට්‍රේලියානු බාලිකාවෝ ඕවර 7 කදී ලකුණු 23 කට කඩුලු 3 ක් අහිමි කරගත්හ. එහෙත් කොයිම් බ්‍රේ සහ එලීනර් ලාරෝසා එක්ව ලකුණු සංඛ්‍යාව 71 දක්වා ඉහළ දැමූහ. ලිමන්සා තිලකරත්නගේ තියුණු තීරණයක් සමගින් එල්ලා බි්‍රස්කෝ දුවද්දී දැවී යාමෙන් පසුව ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ වල්මත් වූහ.

අවසන් ඕවරයේදී  ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ලකුණු 20 ක් අවශ්‍යව තිබුණද අශේනි තලගුණේගේ පන්දු යැවීම කෙතරම් අගනා වූයේද යත් අවසන් ඕවරයේදී එකම හතරේ පහරක් හෝ ගැසීමට ඕස්ට්‍රේලියානු බාලිකාවෝ අසමත් වූහ.  එපමණක් නොව, කෝල් ඒන්ස්වර්ත්ගේ කඩුල්ල දවාගැනීමටත් අය සමත් වූවාය.

බාලිකා ලෝක කුසලාන තරාගවලියේ අවසන්  පූර්ව වටයේ තරග දෙකම මේ මස 31 වැනිදා පැවැත්වෙයි. පළමුවැන්න ඕස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු බාලිකාවන් අතර පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය බාලිකාවන් සහ එංගලන්ත බාලිකාවන් අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකාවෝ – ඕවර 20 කදී කඩුලු 8 ට 99 යි
(සංජනා කාවින්දි 19, සුමුදු නිසංසලා 18, මනුදි නානායක්කාර 15, හිරුණි කුමාරි 14, ලිලී බැසිංවේට් 07/3, හස්රාට් ගිල් 18/2, ටීගන් විලියම්සන් 19/2)

ඕස්ට්‍රේලියානු බාලිකාවෝ – ඕවර 20 කදී කඩුලු 8 ට 87 යි
(අයින්ස් මැකියොන් 10, ලුසී හැමිල්ටන් 10, කොයිම් බ්‍රේ 27, එලීනර් ලාරෝසා 18, ග්‍රේස් ලයන්ස් 10, චමෝදි ප්‍රබෝධා 13/2, ප්‍රමුදි මෙත්සරා 16/2, අශේනි තලගුණේ 18/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button