‘සුලෝහිත සංග්රාමය’ එක්දින ක්රිකට් තරගයේ ජය වසර 8කට පසු ආනන්ද විදුහලට
ශ්රී ලංකා ක්රිකට් පිලට වැඩිම ක්රීඩකයින් පිරිසක් දායාද කළ මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද – නාලන්දා විදුහල් අතර 47 වැනි ‘සුලෝහිත සංග්රාමය’ එක්දින ක්රිකට් තරගයේ ජය වසර 8කට පසු ආනන්ද විදුහල දිනා ගත්තේය.
ඊයේ එස්එස්සී පිටියේදී නිමාවූ මෙම එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ආනන්ද විදුහලට හිමි විය. කාසියේ වාසිය දිනාගත් නාලන්දා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ ආනන්ද ක්රීඩකයෝ කඩුලු 5ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කර ගියහ.
අවසන් වරට 2016දී නිසල ෆ්රැන්සිස්කෝගේ නායකත්වයෙන් ආනන්ද විදුහල මේ එක්දින ක්රිකට් තරගය ජයගත් අතර එවර නාලන්දා පිල දසුන් සෙනෙවිරත්න මෙහෙයවිය.
ආනන්ද විදුහල ජය මාවත කරා ගෙන ගිය දිනද අතලගේ පන්දු 84කදී හයේ පහර 2ක් හා හතරේ පහර7ක් සමඟ නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර කාංචන ද ලිවේරා පන්දු 66කදී ලකුණු 55ක් හා නායක ඉරුත් ගිම්ෂාන් පන්දු 41කදී ලකුණු 42ක් වාර්තා කළහ.
ශ්රී ලංකාව 1996 වසරේ එක්දින ක්රිකට් ලෝක කුසලානය ජයග්රහණය කර ඊයේ දිනට වසර 28ක් සපිරීම නිමිත්තෙන් 1996 වසරේ මාර්තු 17 වැනිදා උපත ලැබූ අයට තරගය නැරඹීම සඳහා නොමිලයේ අවසරපත් ලබාදුන් අතර එයින් තෝරගත් පිරිසකට විශේෂ සමරු තිළිණ ලබා දීමට ද කටයුතු යොදා තිබිණි.
1996 වර්ෂයේ ක්රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මෙන්ම අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම හා කුමාර් ධර්මසේන යන ක්රීඩකයන් ආනන්ද හා නාලන්දා විදුහල්වල ආදි සිසුහු වෙති.
මේ එක්දින තරගයේ හොඳම පිතිකරු සම්මානය නාලන්දා විදුහලේ සදෙව් සමරසිංහ, හොඳම පන්දු යවන්නා ආනන්ද විදුහලේ අයේෂ් ශෂිමාල්, හොඳම පන්දු රකින්නා ආනන්ද විදුහලේ රවිශාන් පෙරේරා හා තරගයේ දක්ෂතම ක්රීඩකයා ආනන්ද විදුහලේ දිනද අතලගේ සම්මාන දිනා ගත්හ.