ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරඟ දෙකක් ඉතිරිව තිබියදි තරඟාවලිය ජය ගනී.
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති තෙවැනි නිලනොවන එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග 5කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය තරග 2ක් ඉතිරිව තිබියදීම 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් ‘ඒ’ පිල ලකුණු 185කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 37.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.
ශ්‍රී ලංකා ජය තහවුරු කළ පසිඳු සූරියබණ්ඩාර පන්දු 109කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84කි. නායක නිශාන් මධුෂ්ක ලකුණු 20ක්, සොනාල් දිනූෂ ලකුණු 35ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී මොහොමඩ් සලීම් කඩුලු 3ක් සහ බිලාල් සාමි කඩුලු 2ක් දවා ගත්හ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගන් පිතිකරුවන්ට මුල සිටම සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නෝ ඕවර 41.2කදී ඉනිම නිමා කළහ.
සියා උර් රහමාන් ලකුණු 36ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ලකුණු 20 සීමාව පසු කළ හැකි වූයේ තවත් පිතිකරුවන් දෙදෙනකුට පමණි. දාර්විෂ් රසෝලි ලකුණු 25ක්, ෂහිදුල්ලා කමල් ලකුණු 23ක් රැස් කළහ. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් කඩුලු 3ක් බිඳ දැමූ අතර, සොනාල් දිනූෂ සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගත්හ.
මේ තරගයේදී සොනාල් දිනූෂ සහ චමිඳු විජේසිංහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් තරග වරම් හිමි කර ගත්හ.
දෙපිල අතර සිව්වැනි නිලනොවන එක්දින තරගය හෙට (5) හම්බන්තොටදීම පැවැත්වේ.