‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් – දඹුල්ල කණ්ඩායම ඉවතට
ලංකා ප්‍රිමියර් ලීග් (එල් පී එල්) 2024 ක්‍රිකට් වෙන්දේසියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට යෝජනා කළැයි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවටගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතික තමීම් රහමන් නමැත්තා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (22) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂ පනතක් මගින් බවත් විමර්ශන තවමත් අවසන්ව නොමැති බවත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ උදාර කරුණාතිලක මහතා සමඟ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස් පරීක්ෂක රන්දිල් සංජීව සහ පොලිස් පරීක්ෂක වෙදසිංහ යන නිලධාරිහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රජයේ නිතීඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු ඉදිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම තැනැත්තා සම්බන්ධයෙන් පෙරේදා (21) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවය. ඒ අනුව ඊයේ (22) පෙරවරු 10ට පමණ මෙරටින් පිටවීමට සූදානමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් සිටියදී මොහු අත්අඩංගුවට ගත් බව ද රජයේ නිතීඥ කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගී වන කණ්ඩායම් පහෙන් එකක් වන දඹුල්ල තන්ඩර්ස් සමඟ ගිවිසුම් අවසන් කර තිබේ