බංග්ලාදේශය පැරදවූ දකුණු අප්‍රිකාව සුපිරි අටට ලං වෙයි. – ශ්‍රි ලංකාවට තවත් බලාපොරොත්තුවක්
පිට පිට තරග දෙකක්ම පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේ බලාපොරොත්තුව තවදුරටත් බංග්ලාදේශය මත තැබීමට ඉඩ සලසමින් ඊයේ නිව්යෝක් නුවරදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 4කින් බංග්ලාදේශ පිල පරාජයට පත් කළේය. මේ තරගයේ ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකානුවන් ‘ඩී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6ක් ලබා අපරාජිතවම සුපිරි අට වටයේ අභියෙසට පැමිණ සිටින අතර, ඔවුන්ට මූලික වටයේ ඉතිරිව ඇත්තේ 15 වැනිදා පැවැත්වෙන නේපාලයට එරෙහි තරගය පමණි. තරග 2කින් එක් තරගයක් පමණක් ජයගෙන සිටින බංග්ලාදේශයට තවත් තරග දෙකක් 13 වැනිදා නෙදර්ලන්තය සමඟත්, 17 වැනිදා නේපාලය සමඟත් ඉතිරිව ඇත. ශ්‍රී ලංකාවට සුපිරි අටට පිවිසිමට නම් බංග්ලාදේශය ඉන් එක් තරගයක් පරාජයට පත්විය යුතුව ඇති අතර, එම කණ්ඩායම් සමඟම තරග වැදීමට නියමිත ශ්‍රී ලංකාව තරග දෙකම ජයගත යුතුව ඇත්තේ ඉහළම ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතවය.
ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිලට ඕවර 20දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 113ක් පමණි. බැලූ බැල්මටම තරගයේ ජයග්‍රහණය බංග්ලාදේශයට හිමිවනු ඇතැයි අනාවැකි පළ වුවද, සටන්කාමී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සිය පිතිකරුවන්ගේ දුර්වලතා මඟ හරවාලමින් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට අත්කර දීමට සමත්වූහ.
ලකුණු 114ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුලු 4ම ලකුණු 50ක් ඇතුළත දවාලමින් ප්‍රබල අභියෝගයක් එල්ල කළ දකුණු අප්‍රිකානු පිලට ටව්හිද් රිදෝයි සහ මහ්මුදුල්ලා පස්වැනි කඩුල්ලට එක් කළ ලකුණු 44 දැඩි පීඩනයක් බවට පත්විය.
එහෙත් කගීසෝ රබඩා යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් රිදෝයි දැවීයෑමත් සමඟ තරගයේ පාලනය යළි සියතට ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. පන්දු 34කට මුහුණ දුන් රිදෝයි හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය. කේෂව් මහරාජ් යැවූ අවසන් ඕවරය වන විට බංග්ලාදේශයට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 11ක් වූ අතර, අවසන් පන්දු 2දී එය ලකුණු 6ක් බවට පත්විය. පස්වැනි පන්දුවට මහ්මුදුල්ලා ඉහළින්ම එල්ල කළ පහර හයේ සීමාවට යෑමට පෙර ඉහළට පැන රැකගත් ඒඩ්න් මාක්‍රම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල අපේක්ෂා නොකළ ඉරණමකට ඇද දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ පළමු කඩුලු 4ම ලකුණු 23ක් ඇතුළත දවාලීමට සමත්වූහ. ඉනිම උඩුයටිකුරු කරනු ලැබුවේ බංග්ලාදේශ පිලේ ආරම්භක වේගපන්දු යවන්නා වන ටන්සිම් හසන් ශකීබ් විසිනි. ඔහු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් දෙදෙනාම ලකුණු ලැබීමටත් පෙර දවාලූ අතර, සිය ඕවර 4දී ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවාලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ටස්කින් අහමඩ් කඩුලු 2ක් දවාලූ අතර, ඔහු සිය ඕවර 4ට ලබා දුන්නේ ලකුණු 19ක් පමණි.
හෙන්රිච් ක්ලාසෙන් සහ ඩේවිඩ් මිලර් එක්ව දැඩි පීඩනයකට හසුවී සිටි දකුණු අප්‍රිකානු පිල ලකුණු 100 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට සමත්වූවද මුළු ලකුණු සංඛ්‍යාව 102දී ක්ලාසෙන්ගේ දැවීයෑමත් සමඟ ඉනිම යළි කඩා වැටිණි. පන්දු 44කට මුහුණ දුන් ක්ලාසෙන් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 46ක් රැස් කළ අතර, මිලර් ලකුණු 29ක් රැස් කරනු ලැබුවේ පන්දු 38කිනි. ඊට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුළත් විය. දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩ නැඟුණද, බංග්ලාදේශයට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට එය ප්‍රමාණවත් නොවීය. ක්ලාසෙන්ට සහ මිලර්ට අමතරව ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි කොක් ලකුණු 18ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට ළඟාවීමටවත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ලකුණු 46ක් රැස් කළ හෙන්රිච් ක්ලාසෙන්ටය.