Cricket NewsEXCLUSIVEInternational

ජස්ප්‍රීට් බුම්රා ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

බාබඩෝස්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් ඉන්දියාව දුන් ලකුණු 182ක ඉලක්කය හමුවේ ඇෆ්ගනිස්තානායට ඕවර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 134ක් පමණි.

පිළිතුරු ඉනිමේදී ලකුණු 23ක් තුළ ආරම්භක පිතිකරුවන් යුගලය ඇතුළු පිතිකරුවන් තිදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූයේ ඇෆ්ගන් පිල ප්‍රබල පීඩනයකට හසුකර ගනිමිනි. ගුල්බඩින් නයිබ් සහ අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 44ක සබඳතාවකින් ඉනිම පිළිසකර කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විණි. ගුල්බඩින් ලකුණු 17කට දැවී ගිය අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔමර්සායිගේ ඉනිම පන්දු 20කින් ලකුණු 26ක් ලෙස සටහන් විය.

ඇෆ්ගන් අවසන් කඩුලු 4 ලකුණු 20ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා සහ අර්ෂදීප් සිං කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, කුල්දීප් යාදව් කඩුලු 2ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ශර්මා ලකුණු 8කට දැවී ගිය අතර, මෙවර තරගාවලියේ සිය වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වූ විරාට් කෝලි ලකුණු 20කට පිටියෙන් ඉවත් කිරීමට ඇෆ්ගන් නායක රිෂාඩ් ඛාන් සමත් විය.

ඊයේ සිය නායකයා වන ශර්මා (4050) අබිබවා යමින් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ඉන්දීය පිතිකරු වීමට කෝලි සමත් වූයේ ලකුණු 4066ක් සමඟිනි. ඔහු ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලැබූ දෙවැනි පිතිකරු වන අතර, එහි පළමු ස්ථානය පාකිස්තානයේ බාබර් අසාම් හිමි කර ගෙන ඇත්තේ කෝලිට වඩා ලකුණු 79ක් ඉදිරියෙන් සිටිමිනි.

කෝලි දැවී යෑමට පෙර අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් වේගවත් ලකුණු 53ක් රැස් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියේය. මුළු ලකුණු 150දී ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 28කට පමණක් මුහුණ දී තිබිණි. ශිවම් ඩූබේ සමඟ සිව්වැනි කඩුල්ලට පන්දු 14කින් ලකුණු 28ක් එක් කළ යාදව් අනතුරුව හර්දික් පාණ්ඩ්යා සමඟ එක්ව පන්දු 37කින් ලකුණු 60ක සබඳතාවක් ගොඩනැඟුවේය. යාදව් දැවී යෑමෙන් ලකුණු 9කට පසු පාණ්ඩ්යා දැවී ගිය අතර, ඔහු පන්දු 24කින් ලකුණු 32ක් රැස් කළේය.

අක්සර් පටෙල් පන්දු 6කින් ලකුණු 12ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් සහ ෆසල්හක් ෆාරුකි කඩුලු 3 බැගින් දවා ගත්හ.

සුපිරි අට වටය යටතේ ඉන්දියාවේ මීළඟ තරගය හෙට රාත්‍රියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, ඇෆ්ගනිස්තානය ඉරිදා පෙරවරුවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පිටියට පිවිසෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button