Cricket NewsEXCLUSIVEInternational

ඇමරිකාව පරදා එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

කඩුලු ත්‍රිත්වයක් සමඟ පන්දු 5ක් තුළ කඩුලු 4ක් බිඳ දැමූ ක්‍රිස් ජෝර්ඩන්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, නායක ජොස් බට්ලර්ගේ වේගවත් පිතිහරඹයත් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම ඊයේ (23) සමත් විය.

සුපිරි 8 වටයේ දෙවැනි කාණ්ඩය යටතේ බාබඩෝස්හිද පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු පිල ලකුණු 115කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 9.4කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.

මේ සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් පෙරමුණගත් එංගලන්තය ශුද්ධ ලකුණු වේගය 0.412 සිට 1.992 දක්වා ඉහළ දමා ගත්තේය.

එංගලන්ත පිළිතුරු ඉනිමේදී නායක ජොස් බට්ලර් පන්දු 38කින් වේගවත් ලකුණු 83ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟිනි. පිල් සෝල්ට් හතරේ පහර 2ක් සමඟ පන්දු 21කින් ලකුණු 25ක් රැස් කළේය.

නිතිෂ් කුමාර් ලකුණු 30ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, අමෙරිකානු අවසන් කඩුලු 5 පන්දු 6ක් තුළ බිඳ වැටීම කැපී පෙනිණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් 19 වැනි ඕවරයේදී කඩුලු 4ක් දවා ගත්තේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ඕවරයක් තුළ කඩුලු 4ක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වෙමිනි. ඔහුට පෙර 2021 වසරේ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් නෙදර්ලන්තයට එරෙහි මේ දස්කම පෙන්වා තිබිණි.

ජෝර්ඩන් 19 වැනි ඕවරයේ තෙවැනි, සිව්වැනි සහ පස්වැනි පන්දුවලදී පිළිවෙළින් අලි ඛාන් (0), නොස්තුෂ් කෙන්ජිගේ (0) සහ සෞරබ් නේත්‍රවාල්කාර් (0) දවා ගත්තේ එංගලන්තය වෙනුවෙන් විස්සයි20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 9 වැනි පන්දු යවන්නා බවට ජෝර්ඩන් පත්වූ අතර, මෙවර තරගාවලියේ වාර්තා වූ තෙවැනි කඩුලු ත්‍රිත්වය මෙයයි., ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් මේ තරගාවලියේදී බංග්ලාදේශය එරෙහිව අන්ටිගුවාහිදී සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව කිංග්ස්ටවුන්හිදී කඩුලු ත්‍රිත්ව වාර්තා කළේය. මින් පෙර 2007දී බ්‍රෙට් ලී (ඔස්ට්‍රේලියා) බංග්ලාදේශයට එරෙහිව කේප්ටවුන්හිදී, 2021 වසරේ කර්ටිස් කැම්පර් (අයර්ලන්තය) නෙදර්ලන්තයට එරෙහිව අබුඩාබියේදී, වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදී සහ කගීසෝ රබඩා (ද. අප්‍රිකාව) එංගලන්තයට එරෙහිව සාජාහිදී, 2022දී කාර්තික් මෙයියප්පන් (එමීර්) ශ්‍රී ලංකාවට එරෙහිව ගීලෝන්ග්හිදී සහ ජෝෂුවා ලිට්ල් (අයර්ලන්තය) නවසීලන්තයට එරෙහිව ඇඩිලේඩ්හිදී කඩුලු ත්‍රිත්ව වාර්තා කර තිබේ.

ඊයේ පන්දු යැවීමේදී ආදිල් රෂීඩ් සහ සැම් කරන් ද කඩුලු 2 බැගින් දවා ගත්හ. ඕවර 4දී ලකුණු 13ක් පමණක් දෙමින් කඩුලු 2 දවාගත් රෂීඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button