Cricket NewsEXCLUSIVEInternational

එක්දින තරග ඉතිහාසය අලුත් කල චමරි ප්‍රමුඛ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවො අද විස්සයි20 පිටියට

එක්දින තරග ඉතිහාසය අලුත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව වසර 21කට පසු පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (24) සංචාරක කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය අරඹයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ විස්සයි20 තරගාවලියත් පැවැත්වෙන අතර, තරගය පෙරවරු 10.00ට ආරම්භ වේ.

වසර 2017 ඔක්තෝබර් මාසයෙන් පසුව මේ දෙරට විස්සයි20 පිටියේදී හමුවීම විශේෂත්වයක් වන අතර, විස්සයි20 පිටියේදී හමුවන 24 වැනි අවස්ථාව මෙයයි. මෙතෙක් පැවති තරග 23න් 18ක් ජය ගැනීමට කොදෙව් පිල සමත්ව තිබේ. තරග 4ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දි තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත. ශ්‍රී ලංකාව ජයගත් මේ තරග 4න් 3ක්ම සත්කාරකයන් ලෙස කටයුතු කරමින් සිටියදී ජය ගැනීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිල අවසන් වරට කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරගයක් ජය ගෙන ඇත්තේ 2015 වස‍ෙර් මැයි 23 වැනිදාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිල මේ දක්වා කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජය ගෙන නොමැති බැවින් අද පිටියට පිවිසෙන්නේ මේ ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණෙනි.

මේ අතර මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළ අතර, සුපුරුදු පරිදි චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ තරගාවලියට ක්‍රීඩිකාවෝ 16 දෙනකු එක්ව සිටිති.

කොදෙව් පිලට එරෙහිව එක්දින තරගාවලියේ අවසන් තරගයේදී විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 28කට කඩුලු 5ක් බිඳ දැමූ 22 හැවිරිදි සචිනි නිසංසලා මේ සංචිතයට කැඳවා ඇති අතර, විස්සයි20 තරග 5ක් පමණක් ක්‍රීඩා කර ඇති ඇය අවසන් වරට 2022 වසර් මැයි 28 වැනිදා පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරගයකට එක්ව ඇත. එමෙන්ම මේ සංචිතයට ඉමේෂා දුලානි, කෞෂිනි නුත්‍යාංගනා, අශ්මාක සෙව්වන්දි, ඕෂදී රණසිංහ, අමා කංචනා සහ රශ්මිකා සෙව්වන්දි කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනි, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය සහ හන්සිමා කරුණාරත්නට ස්ථාන අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂදී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, කෞෂිනි නුත්‍යංගනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button