Cricket NewsEXCLUSIVEInternational

මතීෂ – නුවන් තුෂාර සංචිතයට එක්වෙද්දී දසුන් – මැතිව්ස් එලියට විසිවේ

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු නම්කර තිබේ. ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා සාමාන්‍ය වශයෙන් නම්කරනු ලබන්නේ 15 දෙනකු වූවත් මෙම සංචිතයට 17 දෙනකු ඇතුළත් කර සිටිති. 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර විස්සයි-20 තරගාවලිය ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කොදෙව් පිලට එරෙහි විස්සයි-20 තරග තුන මේ මස 13, 15 සහ 17 දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තෝරාගත් සංචිතයට මතීෂ පතිරණ සහ නුවන් තුෂාර දෙදෙනාම ඇතුළත්ව සිටි නමුත් ඔවුන් දෙදෙනාම යම් යම් ශාරීරික ආබාධයන්ට මුහුණ දී සිටියහ. තේරීම් කමිටු නිලධාරීන්ගේ කොන්දේසිය වූයේ විස්සයි-20 සංචිතයට ඇතුළත් වීමට නම් දෙදෙනාම මේ මස 10 වැනිදා වන විට තම තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කළ යුතු බවයි.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා (6 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේද පැවැති ජාතික සුපර් ලීග් (එක්දින) තරගාවලියේ අවසන් මහ තරගයේදී යාපනය පිල වෙනුවෙන් මතීෂ පතිරණත් (8-0-85-2) කොළඹ පිල වෙනුවෙන් නුවත් තුෂාරත් (10-0-62-2) තම තමන්ගේ සම්පූර්ණ ඕවර සංඛ්‍යාව යැවූහ. එබැවින් ඔවුන් දෙදෙනා ද එක්වූ කල්හි ශ්‍රී ලංකා සංචිතය 17 දෙනකුගෙන් සමන්විත වේ.

මෙම සංචිතයට පළපුරුදු ක්‍රීඩකයන් වන, හිටපු ශ්‍රී ලංකා නායකයන් වූ, දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවෙති. දිගින් දිගටම පැවැති අසාර්ථකත්වය නිසා දසුන්ට ස්ථානය අහිමි වී තිබේ. ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන්නේ මේ වන විට ඔහු ටෙස්ට් ක්‍රීඩකයකු ලෙසින් වැඩි අවධානයක් යොමු කරන බැවිනි. ඇරත් 2026 ලෝක කුසලාන තරගාවලිය වන විට මැතිව්ස් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත් වීමේ  අවස්ථාව බෙහෙවින් දුරස්ථ විය හැකි නිසාත් ඔහුගේ ස්ථානය තරුණ ක්‍රීඩකයකුට දී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button