විස්සයි20 තරගවලින් ටෙස්ට් ක්‍රිකට් විනාශ වෙනවා – ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි
විස්සයි20 තරගවලට එක්වන පිතිකරුවන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ආරක්ෂා විය යුතු ආකාරය අමතක වී ඇතැයි ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි. විස්සයි20 තරග රටාව හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට බරපතළ ප්‍රශ්න ඇතිවූ බව ඉන්දීය පුහුණුකරුගේ විශ්වාසය වී තිබේ.
“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරණයේ පදනම ආරක්ෂාවීමයි. සමහරවිට විස්සයි20 ක්‍රිකට්වල පැතලි තණතිලි මත ක්‍රීඩා කිරීමෙන් බොහෝ දේ කළ හැකියි. අපිට තවත් බොහෝ කණ්ඩායම් සමඟත් එම ප්‍රශ්න ඉදිරියේදී ඇතිවේවි. විස්සයි20 ක්‍රිකට් තරග වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරන තරමට ක්‍රීඩකයින් අඩුවෙන් ආරක්ෂා වීමට පටන් ගන්න එක වළක්වන්න බෑ” ගම්භීර් පැවසීය.
මිචෙල් සැන්ට්නර් කඩුලු 13ක් දවාලීමත් සමඟ නවසීලන්තය දඟ පන්දුවෙන් ඉදිරියට පැමිණ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 113ක ජයක් අත්කර ගත්තේය. එබැවින් දඟ පන්දු ප්‍රහාරවලට මුහුණදීමේ හැකියාව ඉන්දියාවට අහිමි වී ඇති බවට ඇතැම් අය නඟන චෝදනා ගාම්භීර් ප්‍රතික්ෂේප කළේය.
“මම හිතන්නේ නැහැ, සමහර වෙලාවට ඒක ප්‍රතිවාදී කණ්ඩායමටත් දෙන්න වෙනවා” ගාම්භීර් වාර්තාකරුවන්ට පැවසීය.
“මිචෙල් සැන්ට්නර් පසුගිය තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූවා. නමුත් අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. මම හිතනවා ඉදිරියේදී අපි හොඳ අතට හැරේවි. මම හිතන්නේ නැහැ දඟ පන්දුවලට එරෙහිව අපේ දක්ෂතා ඇත්තටම අඩුවෙලා කියලා”
මේ මස 22 වැනිදා පර්ත්හිදී ආරම්භ වන ටෙස්ට් තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියානු සංචාරය ඉන්දීය පිලේ අවසන් ටෙස්ට් තරගාවලිය වේ. එබැවින් නවසීලන්තය සමඟ ටෙස්ට් තරගය මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය බවට පත්ව ඇත.
ගාම්භීර් පැවසුවේ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලබා නොදීමට තම කණ්ඩායම තීරණය කළ බවයි. “අපි උත්සාහ කළ යුතුයි මේ ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්න, එවිට අපි ජයග්‍රහණයක් සමඟ ඔස්ට්‍රේලියාවට යනවා” ගෞතම් ගාම්භීර් පැවසීය.