ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දියාව එහි දෙවැනි ස්ථානය දක්වා ඇද වැටෙයි.
නවසීලන්තයට එරෙහිව සිය මවුබිමේදී පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමග එතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දියාව එහි දෙවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.
මේ වන විට තරග 14 කට ක්‍රීඩා කර ඇති ඉන්දීයාව ඉන් තරග 8 ක් ජය ගෙන, තරග 5 ක් පරාජයට පත්ව ඇති අතර සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටියි. ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය සටහන් වන්නේ 58.33 ක් ලෙසිනි.
මෙවර ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දීයාව තවත් තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර ඕස්ටේ්රලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන එම තරග 5 මෙම මස 22 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 7 වැනිදා දක්වා පැවැත්වේ.
ඉන්දියාවේ පසුබෑමත් සමග ඕස්ට්‍රේලියාවට ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර මේ දක්වා තරග 12 කට සහභාගි වී ඇති ඔවුන් ඉන් තරග 8 ක් ජයගෙන, තරග 3 ක් පරාජය වී සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය 62.5 ක් ලෙස සටහන් වේ.
ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන ටෙස්ට් තරග 5 ට අමතරව ඕස්ටේ්රලියාව, ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාවේදී තවත් ටෙස්ට් තරග 2 කට සහභාගි වීමට නියමිතය. එම තරග වලදී ලබන ජයග්‍රහණ සහ පරාජයන් අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.
මේ අතර මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවද කරට කර සටනක නිරතව සිටියි. ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරග 4 ක්ද, නවසීලන්තයට තරග 3 ක්ද, දකුණු අප්‍රිකාවට තරග 4 ක්ද ඉතිරිව තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙම මස සහ දෙසැම්බර් මස ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර එම කාල වකවානුව තුළදීම නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 3 ක් පැවැත්වේ. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග 2 ක් පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් සහ ජනවාරි මාසවලදීය.