Cricket NewsEXCLUSIVEInternational

වනිදුට එක්දින තරගාවලිය අහිමි වෙයි – දුෂාන් හේමන්ත එක්දින සංචිතයට

නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී සිය වම් පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමි වනු ඇතැයි වාර්තාවේ. පා දඟ පන්දු යවන්නකු වශයෙන් ජෙෆ්රි වැන්ඩසේ දැනටමත් සංචිතයේ සිටින නමුත් අතිරේක ක්‍රීඩක සංචිතයේ ශක්තිය වැඩි කිරීම සඳහා දුෂාන් හේමන්ත එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර ඇත.

ඊයේ පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී වනිඳු යැවූ පළමු පන්දුවෙන්ම ග්ලෙන් පිලිප්ස් දවාගත්තේය. වනිඳු එම ඕවරයේදීම මයිකල් බ්‍රේස්වෙල්වද දවාගත් නමුත් මෙම කඩුලු දෙක දවාගන්නා අතරේ ඔහුගේ වම් පාදයේ කලව මස්පිඬුව ඉරී ගියේය.

ඕවරය නිමාවේදී ක්‍රීඩාගාරයට පැමිණි වනිඳු හසරංග, සුළු ප්‍රතිකාරයක් ලබාගැනීමෙන් පසුව නැවතත් පිටියට යමින් සිය ඕවර 4 සම්පූර්ණ කළේ ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමිනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය අනුව එක්දින තරගයකදී ඕවර 10 ක් යැවීම අවදානම් සහගත වන හෙයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වනිඳු හසරංගව කොළඹ බලා පිටත්කර යවා තිබේ.

දකුණතින් පා දඟ පන්දු යවන 30 හැවිරිදි දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් හොඳ දස්කම් දැක්වූ, අසීරු අවස්ථාවකදී පිතිකරුවකු වශයෙන්ද විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙකි. ඔහු අද (11 වැනිදා) හෝ හෙට ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වීමට සූදානමින් සිටියේය.

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ‘ඒ’ කණ්ඩායම් අතර එක්දින තරගාවලිය සඳහාත් තේරී සිටින දුෂාන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සංචාරයෙන් පසුව පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය බදාදා (13 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. පළමු තරගය දඹුල්ලේදී පැවැත්වෙන අතර ඉතිරි තරග දෙකම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button