Cricket NewsEXCLUSIVEInternational

මම ඇතුළු සියලු පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගන්නවා – නායක චරිත් අසලංක

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ලෙස අඩු ලකුණු ගණනක ඉලක්කයක් හඹා යෑමේදී මෙයට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබූ බවත්, තමන් ඇතුළු සියලු පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගන්නා බවත් ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ‍පෙරේදා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත් අතර, ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවිය. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අසලංක පැවැසූවේ ‍මෙවැනි තණතිල්ලක මෙයට වඩා පන්දු යැවීමේ වාසියක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ප්‍රතිවාදීන් ලකුණු 108කට සීමා කිරීම විශාල ජයග්‍රහණයයක් බවත්ය.

“ප්‍රශ්නය වුණේ පිතිකරණයේ. මම ඇතුළු සියලු පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගන්නවා. නවසීලන්තය හොඳ පන්දු රැකීමත්, හොඳ පන්දු යැවීමත් මැද ජය ගත්තේ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් හැටියට මෙයට වඩා අප හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබුණා. අඩු ලකුණු ගණනක් වුණත් පහසුවට ගන්නේ නැතිව ගහමු කියා අපි කතා වුණා. නවසීලන්තය පහරදෙද්දී අතිරේක ලකුණු ටිකක් වැඩියෙන් ගියා. අපි ටීම් මීටින් එකේදී කතා වෙන්නෙ අතිරේක ලකුණු අඩුවෙන් තියා ගන්න. මේ වගේ දවස් එන්න පුළුවන්. ඉදිරියේදී මෙවැනි දේ නොවෙන්න වග බලා ගැනීමයි වැදගත් වන්නෙ“ අසලංක පැවැසීය.

“මම හොඳම පන්දු යවන්නන් යෙදෙව්වා. වනිඳු හා තීක්ෂණ ලෝකයේ හොඳම දඟ පන්දු යවන්නන්. නමුත් මේ වගේ තත්ත්වයක් තුළ පන්දුව ‘සොෆ්ට්‘ වෙද්දී පිතිකරණයට වාසි වෙනවා. ඒකයි ඔවුන්ගේ අන්තිම පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නේ. මේ වගේ තණතිල්ලක ලකුණු 160ක් 170ක් වගේ අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ෆර්ගියුසන්ගේ පන්දු තුනකින් තරගය වෙනස් වුණා. උඩින්ම පන්දුවට පහර දෙන කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස් හා මගේ කඩුලු තුනම ඔහු දවා ගත්තා. ඒක විශාල බලපෑමක් වුණා“ අසලංක සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button