Cricket NewsEXCLUSIVEInternational

නායක ජස්ප්‍රීට් බුම්රා ඔස්ට්‍රේලියාවට එරෙහිව දැවැන්ත ජයක් කරා ඉන්දියාව රැගෙන යයි

තාවකාළික නායක ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් ඇතුළු ඉන්දීය වේග පන්දු යවන්නෝ එක්ව පර්ත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 295 ක දැවැන්ත ජයක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියහ.

මෙම ජයත් සමගින් බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් ඉන්දීය කණ්ඩායම, ඕස්ට්‍රේලියාවේදී පැවැති ටෙස්ට් තරගයකදී ලබාගත් විශාලතම ජයග්‍රහණයත් සටහන් කළේය.

හර්ෂිත් රානා විසින් ඇලෙක්ස් කේරිගේ කඩුලු මත තිබූ බේල බිම දැමීමත් සමගම ලකුණු 534 ක ඉලක්කයක් කරා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 238 කට දැවී ගියේය.

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ගිම්හානය ඇරඹෙන්නේ බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයෙනි. එය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගණයක් ලෙසින් සැලකෙයි. පර්ත් නුවර පිහිටි, පන්දුව ඉතාමත් වේගයෙන් පැමිණෙන, එමෙන්ම වැඩි ඉපිළීමකින් යුත් බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය (වැකා) මෙතෙක් කලක් භාවිතා කෙරුණේ වේග පන්දු යවන්නන්ගේ හයිකාරකම් පෙන්වීම සඳහාය.

‘වැකා’ පිටියට මීටර කිහිපයක් මෑතින් පිහිටි ‘ඔප්ටස්’ ක්‍රීඩාංගණයේදී වේග පන්දු යවන්නන්ටම උචිත තණතීරුවක් සකස්කරගත් ඕස්ට්‍රේලියානුවෝ පළමු ටෙස්ට් තරගය සඳහා එය යොදාගත්තේ ආරම්භයේදීම ඉන්දියානුවන් මට්ටු කරගැනීමේ අභිලාෂය ඇතිවය.

එහෙත් “අපේම නයි අපිවම කයි” කියන්නාක් මෙන්, ‘ඔප්ටස්’ පිටියේදීම ඕස්ට්‍රේලියානුවන්ට දරුණු පරාජයක් උරුම කර දුන් ඉන්දීය වේග පන්දු යවන්නෝ 2024-2025 බෝඩර් ගවස්කාර් කුසලාන තරගාවලිය වඩාත් උද්වේගකර තලයකට ඇදගෙන ගියහ.
වසර 2016-2017 තරගාවලියේ සිටම ඉන්දියානුවෝ බෝඩර් – ගවස්කාර් කුසලානය තමන් සන්තකයේ තබාගෙන සිටිති.

ටෙස්ට් තරගාවලියක පළමු තරගය පරාජය වීමෙන් පසුව ඕස්ට්‍රේලියානුවන් තරගාවලිය ජයගත්තේ නම් ඒ මීට වසර 55 කට ඉහත කොදෙව් පිල හමුවේදීය.

“ඇත්තටම හරිම කණගාටුදායකයි”

“ඒක කිසිම දෙයක් හරියට නොගිය, කළාතුරෙකින් මුහුණ දෙන තරගවලින් එකක්. පැති කීපයකින්ම අපි අපේ දේවල් හරියට කළේ නෑ…. ඒ හින්දා ඒ සෑම අංශවලදීම අපි අපේ වැරදි හදාගන්න ඕනේ” යයි තරගයෙන් පසුව පැට් කමින්ස් පැවසීය.

තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා (24 වැනිදා) නිමාවූයේ ඕස්ටේ්‍රලියානුවන් ලකුණු 12 කට කඩුලු 3 ක් අහිමි කරගනිමිනි. අද පෙරවරුවේ තරගය ආරම්භ වී යැවුණු හත්වැනි පන්දුවේදීම උස්මන් කවාජා දැවීගියේ ඕස්ට්‍රේලියානුවන්ගේ සිව්වැනි කඩුල්ලත් ලකුණු 17 දී බිම දමමිනි.

ස්ටීවන් ස්මිත් (17), ට්‍රැවිස් හෙඩ් (89), මිචෙල් මාෂ් (47) සහ ඇලෙක්ස් කේරි (36) එක්ව ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ඇදගෙන ගියහ. එහෙත් ලකුණු 227 දී මිචෙල් ස්ටාක් (12) දැවී යාමත් සමගින් අවසන් කඩුලු තුනම ලකුණු 11 ක් තුළදී ඇද වැටිණ.

ස්ටීවන් ස්මිත් නැවත වරක් ඔහුට සුපුරුදු අංක 4 ස්ථානයට පැමිණ සිටියේය. සිය 8 වැනි ටෙස්ට් ශතකය කරා යමින් සිටි ට්‍රැවිස් හෙඩ්ගේ ගමන නතර කළ බුම්රා මෙම තරගයේ 8 වැනි කඩුල්ලත් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට අවශ්‍ය සුදුසුකම් පෙන්වා සිටියේය. රෝහිත් ෂර්මා සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටීම නිසා ජස්ප්‍රීට් බුම්රා ඉන්දීය පිල මෙහෙයවීය.

ඉන්දීය කණ්ඩායම පර්ත් තරගය ජයගත්තේ නවසීලන්තය හමුවේ ඉන්දියාවේදීම අත්කරගත් 3-0 ක තරගාවලි පරාජයෙන් පසුවය.

බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලියේ දෙවැන්න දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ් නුවරදී ආරම්භ වෙයි. එය දිවා/රාත්‍රී තරගයකි.

ඊට පෙර ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර දෙදින තරගයක් මේ මස 30 වැනිදා කැන්බරා නුවරදී පැවැත්වේ.

ඉන්දියාව – පළමු ඉනිම 150 යි
ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම 104 යි
ඉන්දියාව – දෙවැනි ඉනිම කඩුලු 6 ට 487 යි
ඕස්ට්‍රේලියාව – දෙවැනි ඉනිම 238 යි
(ස්ටීවන් ස්මිත් 17, ට්‍රැවිස් හෙඩ් 89, මිචෙල් මාෂ් 47, ඇලෙක්ස් කේරි 36, මිචෙල් ස්ටාක් 12, ජස්ප්‍රීට් බුම්රා 42/3, මොහොමඩ් සිරාජ් 51/3, වොෂිංටන් සුන්දර් 48/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button