Cricket NewsEXCLUSIVEInternational

ජෙරල්ඩ් කොයෙට්සිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඉකිලියේ අබාධ තත්වයක් හේතුවෙන් 24 හැවිරිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොයෙට්සිට ශ්‍රී ලංකාවට එරෙහිව දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත් කොයෙට්සි, දෙවැනි ඉනිමේදී ලකුණු 67 කට කඩුලු 2 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට දායකත්වය සැපයුවේය.

පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ පන්දු යවමින් සිටියදී අපහසුතාවක් දැනීම හේතුවෙන් කොයෙට්සි පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමේදී ඔහුගේ දකුණු ඉකිලියේ මාංශ පේශි ඉරීමකට ලක්ව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

ආබාධ තත්වය පූර්ණ වශයෙන් සුව වීම සඳහා සති 4 ත්, 6 ත් අතර කාලයක් ගතවන බැවින් කොයෙට්සිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තාන සංචාරයද අහිමිවන බව කණ්ඩායමේ කලමණාකාරීත්වය නිවේදනය කර සිටියි.

ඇතැම් විට ඔහුට ජනවාරි මස 9 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු විස්සයි-20 ලීගයේ මුල් තරග කිහිපයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි විය හැකි අතර ජෙබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු සහභාගි වන පළමු තරගය එම්.අයි. කේප් ටවුන් කණ්ඩායමට එරෙහිව ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

කොයෙට්සිගේ හිදැස පිරවීම සඳහා තවමත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා නොමැති 18 හැවිරිදි ක්වේනා මපාකා සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තවමත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති මපාකා එහිදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button