බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 7 ක තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී ඔවුන්ට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ නායක විහස් දෙව්මික සිය ඕවර 10 ලකුණු 37 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහඹයක නිරත වූ කලාම් සිද්දික් පන්දු 134 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 95 ක් ලබාගත් නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. සවාද් අබ්රාර් (24) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කලාම් සමත් විය.
තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අවසන් ඕවර 3 දී ලකුණු 19 ක් අවශ්‍ය වූ අතර ඒ වන විට ඔවුන් සතුව ඉතිරිව තිබුණේ කඩුලු 2 ක් පමණි. 48 වැනි ඕවරය යැවූ කුගදාස් මතුලන් කඩුල්ලක් දවාගනිමින් එය ඕවරය ලකුණු 2 කට සීමා කළ අතර 49 වැනි ඕවරය යැවූ දුල්නිත් සිගේරා එම ඕවරයේදී ලකුණු 7 ක් ලබාදුන්නේය.
ඒ අනුව අවසන් ඕවරය ආරම්භ වන විට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුල්ලක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක් පසුපසින් සිටියේය. අවසන් ඕවරය යැවීම සඳහා යළිත් පන්දුව අතට ගත් කුගදාස් මතුලන්, ඒ වන විට ලකුණු 23 ක් ලබා ස්ථාවර වී සිටි ෆරීඩ් හසන්ට දෙවැනි පන්දුවේදී ලකුණක් ලබාදී ඔහුව පන්දු යැවීමේ අන්තයට ගෙන්වා ගනිමින් පීඩනය තවත් වැඩි කළේය.
එබැවින් ෆරීඩ් හසන් යළිත් පන්දුවට පහරදීමේ අන්තයට ගෙන ඒම සඳහා ලකුණක් ලබාගනිමින් පැති මාරු කරගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ අවසන් පිතිකරුවා වූ ඉක්බාල් හොසේන්ට සිදුවිය. කෙසේ වුවත් මඟහැරී ගිය පන්දුවකට ලකුණක් ලබාගැනීමට ඔහු තැත්කළ අවස්ථාවේදී නිවැරදි ඉලක්කයට පන්දුව කඩුල්ල වෙත වීසි කළ කඩුලු රකින ක්‍රීඩක ශාරුජන් ශන්මුගනාතන්, බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228 ක් ලබාගත් අතර එහිදී ඉවසිවන්ත පිතිහරඹයක නිරත වූ විමත් දින්සර පන්දු 132 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 106 ක් රැස්කළේය. එහිදී අල් ෆාහඩ් ලකුණු 50 කට කඩුලු 4 ක්ද, රිසාන් හොසේන් ලකුණු 40 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 152 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී නායක විහස් තෙව්මික (22) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 50 සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමටද දින්සර සමත් විය. තෙව්මිකගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර ලක්වින් අබේසිංහ ලකුණු 21 ක්ද, විරාන් චමුදිත ලකුණු 20 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සවිමත් කළහ.