Cricket GossipCricket NewsEXCLUSIVEPremier LeagueT10 League

මුදලට තරග පාවාදීමට සැරසුන ගෝල් මාවල්ස් හිමිකරු 18 දා දක්වා රිමාන්ඩ්

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම්  කළේ යැයි කියන ” ගෝල් මාවල්ස්” කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  මහතා  අද (16 වැනිදා) නියෝග කළේය.

ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් සැකකරුව මෙසේ යළි  රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර  සැකකරු සිද්ධිය  අනාවරණය කරමින් ලබාදීමට නියමිත  රහස් ප්‍රකාශය 18 වැනිදා ලබා දෙන ලෙසටද  නියෝග කළේය. සැකකරු පසුගිය 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින්  සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායකයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව රහස් ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවය. එබැවින් තවදුරටත් පැමිණිල්ලේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රශ්න උද්ගත නොවන බැවින් සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙසත් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිකරණය ඉදිරියේ  පාපොච්චාරණයක් කළද විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය. සැකකරු, අදාළ කාරණය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළහොත් එම කරුණු මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පිටුවහලක් වන බැවින් කඩිනමින් විමර්ශන අවසන් කර මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර එම නඩුවද කඩිනමින් විභාග කර අවසන් කිරීමට හැකිවන බව පෙන්වා දුන්නේය.

රහස් ප්‍රකාශයක් කිරීම, ඇප ලබාදීම සම්බන්ධයෙන් හේතුවක් නොවන බවද රජයේ නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
2019 අංක 24 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැකකරු ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකරු රහස් ප්‍රකාශයක් කරනුයේ ස්වේච්ඡාවෙන්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමෙන් පසුව අදාළ ප්‍රකාශය සටහන් කර ගත හැකි බවය.
ඒ අනුව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් අධිකරණ නිලමැදිරියෙන් බැහැර කරන ලද අතර සැකකරු රහස් ප්‍රකාශයක් ලබා දීම තුළින් උද්ගතවන නීතිමය තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා   විසින් කරුණු පැහැදිලි කර දෙන ලදි.

“ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග  පාවාදීමටයි යෝජනාවක් කර ඇති සැකකරු  ඔවුන් නම් කරන අවස්ථාවේදී අසාර්ථක විදිහට සෙල්ලම් කිරීමට ඇමෙරිකානු ඩොලර් 15,000  ලබා දෙන බවත්, සැකකරු නම් කරන පන්දු යවන්නෙකුට එක් ඕරයක් ලබා දුනහොත් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් ලබාදීමට සූදානම් බවත් සඳහන් කරමින් තරග පාවාදීමට එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ.

දෙපර්ශය මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ  මහේස්ත්‍රාත්වරයා  සැකකරු රහස් ප්‍රකාශයක් කිරීම නිසා උද්ගතවන තත්ත්වය ඔහුට පුද්ගලිකව පැහැදිලි කර දෙමින් එම ප්‍රකාශය පිළිබඳ යළිත් සිතා බලා ඒ සඳහා ලබන 18 වෙන්කරන ලෙසත්, එතෙක්, ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නීතිඥ විශ්ව ලිවේරා ද ෆොන්සේකා, නීතිඥ නිරන්ජන් ඊරියගොල්ල හා වසීම් හුල් අක්‍රම් යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button