T10 ලීගය විශ්‍රාමික ක්‍රීඩකයන්ගෙ තෝතැන්නක් වෙයි .
මේ දිනවල පැවැත්වෙන ලංකා දයහයි-10 ක්‍රිකට් ලීගය සඳහා මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින දෙස් විදෙස් ක්‍රීඩකයන් 11 දෙනෙක් එක්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙක්, ඉන්දියාව සහ බංග්ලාදේශය නියෝජනය කරන එක් ක්‍රීඩකයා බැගින් ඒ අතර වෙති.
ඉන් වැඩිම විශ්‍රාමික ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන කණ්ඩායම වන්නේ මහනුවර බෝල්ට්ස් කණ්ඩායමය. කණ්ඩායමේ නායක තිසර පෙරේරාද මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින අතර චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ෂෙහාන් ජයසූරිය, සීක්කුගේ ප්‍රසන්න සහ පාකිස්තාන ක්‍රීඩක ඉමාඩ් වසීම් එම කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු විශ්‍රාමික ක්‍රීඩකයෝ වෙති.
මෙම තරගාවලියේදී එක් කණ්ඩායමකට එක්කර ගත හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 18 න් වන අතර ඒ අනුව මහනුවර බෝල්ට්ස් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගෙන් හරියටම 3 න් 1 ක්ම මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින ක්‍රීඩකයන් වීම කැපී පෙනෙන සිදුවීමක් වේ.
එම කණ්ඩායමට අමතරව කොළඹ ජගුවර්ස් කණ්ඩායමට සහ නුවරඑළිය කිංග්ස් කණ්ඩායමට විශ්‍රාමික ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සහ යාපනය කිංග්ස් කණ්ඩායමට එක් විශ්‍රාමික ක්‍රීඩකයා බැගින්ද ඇතුළත්ව සිටිති. මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් විශ්‍රාමික ක්‍රීඩකයකු ඇතුළත්ව නැත්තේ ගාල්ල මාවල්ස් කණ්ඩායමට පමණි.
ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටි දක්ෂ යොවුන් ක්‍රීඩකයන් රැසකට කණ්ඩායම්වල ස්ථාන අහිමි වී ඇති මෙම තරගාවලියට මෙවැනි විශ්‍රාමික ක්‍රීඩකයන් එක්කර ගැනීම තුළින් තරගාවලියේ ගුණාත්මක භාවය හීන වන බවද, ජාතික කණ්ඩායමට ප්‍රවේගකාරී පිතිහරඹ හැකියාවන් ඇති දෙවැනි පෙළක් හඳුනාගැනීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.
කණ්ඩායම් වලට ඇතුළත්ව සිටින විශ්‍රාමික ක්‍රීඩකයෝ
මහනුවර බෝල්ට්ස් පිල
තිසර පෙරේරා – නායක
චතුරංග ද සිල්වා
මිලින්ද සිරිවර්ධන
ෂෙහාන් ජයසූරිය
සීක්කුගේ ප්‍රසන්න
ඉමාඩ් වසීම් (පාකිස්තානය)
කොළඹ ජගුවර්ස් පිල
ඇන්ජලෝ පෙරේරා
රොනී තලුක්දාර් (බංග්ලාදේශය)
නුවරඑළිය කිංග්ස් පිල
සෞරබ් තිවාරි (ඉන්දියාව) – නායක
උමාර් අක්මාල් (පාකිස්තානය)
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල
ඉසුරු උදාන
යාපනය කිංග්ස්
මොහොමඩ් අමීර් (පාකිස්තානය)