පාපොච්චාරණයෙන් පසු ගෝල් මාවල්ස් හිමිකරු නැවතත් රිමාන්ඩ් භාරයට.
“ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් පාපොච්චාරණයක් කරමින් රහස් ප්‍රකාශයක් කළ “ගෝල් මාවල්ස්” කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(18) නියෝග කළේය.
ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් නැමැති සැකකරුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් අයිපෑඩයේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් අද දින බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට නියෝගයක්ද නිකුත් කළේය.
“ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට යෝජනා කර ඇති සැකකරු, තමන් විසින් නම් කරනු ලබන අවස්ථාවේදී අසාර්ථක ආකාරයෙන් ක්‍රීඩා කිරීමට ඇමෙරිකානු ඩොලර් 15,000 ලබා දෙන බවත්, නම් කරනු ලබන පන්දු යවන්නෙකුට එක් ඕරයක් යැවීමට අවස්ථා දුනහොත් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් පවසා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්නායක අනුව එවන් ආකාරයේ යෝජනා තරග පාවාදීම් ලෙසින් සැලකේ.
එසේ තරග පාවාදීමට කළ යෝජනාවලට එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ.
සැකකරු පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි .
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායකයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව රහස් ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවය.
ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදෙන්නේ ස්වේච්චාවෙන්ද යන්න විමසා සිටි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පාපොච්චාරණයක් කිරීමෙන් පසුව උද්ගත විය හැකි නීතිමය තත්ත්වය සැකකරුට පහදා දෙමින් අදාළ ප්‍රකාශය අද දින ලබා දෙන ලෙසට පසුගිය නඩු වාරයේදී නියෝග කොට තිබිණි.
අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගේ නිල මැදිරියේදී සැකකරු පැයකට ආසන්න කාලයක් සිය පාපොච්චාරණය කළේය.
පාපොච්චාරණය කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය. ඇප ඉල්ලීම සම්බන්ධයෙන් එදිනට කරුණු ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයට නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් පරිගණක යන්ත්‍රයේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සැකකරුගෙන් තවදුරටත් කරුණු විමසීමට අවශ්‍ය බැවින් ඊට අවස්ථාව ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ අද දින එම ප්‍රකාශය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නේය.
2019 අංක 24 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළ කරුණාතිලක මහතා විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ලබාදීමට විරුද්ධවන බවද සඳහන් කර ඇත.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා, නීතිඥ විශ්ව ලිවේරාද ෆොන්සේකා, නීතිඥ නිරන්ජන් ඊරියගොල්ල, නීතිඥ අජිත් වික්‍රමසිංහ සහ වසීම් හුල් අක්රම් යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.