2027 දක්වා ඉන්දු-පාකිස්තාන සියලු ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ හා ඩුබායිවලදී පැවැත්වීමට ගිවිසුමකට එළබෙයි
ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ආකෘතියකින් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති පසුබිමක එම ඉන්දීය – පාකිස්තාන ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බවට පාකිස්තානය අයිසීසියෙන් ඉල්ලා ඇත.
එහෙත් 2027 දක්වා ඉන්දියාවේ හා පාකිස්තානයේ පැවැත්වෙන සියලු අයිසීසී තරගාවලි දෙමුහුන් ආකෘතියකින් පැවැත්විය යුතු බවට ඊයේ අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර, එම තරගවල මධ්‍යස්ථ රට ලෙස ශ්‍රී ලංකාව හෝ ඩුබායි භාවිත කිරීමට ද දෙරටේ ක්‍රිකට් බලධාරීන් ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ ඉන්දීය – පාකිස්තාන ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බවට අයිසීසීය ඉල්ලීමක් කළහොත් ඒ සඳහා කිසිදු පැකිළීමකින් තොරව සහයෝගය දක්වන බවයි. මේ දක්වා එවැනි ඉල්ලීමක් කර නැතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාගතයේදී එවැනි තීරණයක් දැනුම් දෙන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලි සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍ය තරම් ක්‍රීඩාංගණ පහසුකම් ඇති අතර, මේ දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විදුලි ආලෝක ධාරා පද්ධතිය ඉවත් කොට අංගසම්පූර්ණ නවීන විදුලි ආලෝක ධාරා පද්ධතියක් සවිකරමින් පවතියි. එයට අමතරව පල්ලෙකැලේ හා දඹුල්ලේ ක්‍රීඩාංගණ දෙක ජාත්‍යන්තර මට්ටමේ පවතියි. අවශ්‍යතාව මත හම්බන්තොට ක්‍රීඩාංගණය ද ජාත්‍යන්තර තරගාවලි සඳහා විදුලි ආලෝක ධාරා මැද භාවිත කිරීමේ හැකියාව ඇත.
ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට සහ 2026 පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන ක්‍රිකට් පිල ඉන්දියාවට නොයන බව කල්ඇතිව දැනුම්දී තිබේ.
ඉන්දියාව හා පාකිස්තානය සම්බන්ධ ක්‍රිකට් තරගවලදී 2024 – 2027 චක්‍රය තුළ, පාකිස්තානයේ සත්කාරකත්වය දරන ඉසව්වක දී ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග, මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කරනු ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව සත්කාරකත්වය සපයන ඉසව්වකදී පාකිස්තාන තරග මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කෙරේ.
මේ එකඟතා ගිවිසුම 2025 පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ වන අතර 2025දී ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට සහ 2026 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට අදාළ වේ. එයින් අදහස් වන්නේ ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවේ හෝ ඩුබායිහිදී සිදුවනු ඇති බවය.