Cricket NewsEXCLUSIVEInternational

ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයෙන් චැම්පියන්ස් කුසලානයේ ඉන්දීය ධජය අතුරුදන්

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ හා ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ඉන්දීය ධජය අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් රසික පිරිසක් තරගාවලි සංවිධායකයන්ට චෝදනා කරයි. ඉන්දීය ධජය නැති ක්‍රීඩාංගණවල වීඩියෝවක් වයිරල්වීමත් සමඟ කුණාටුවක් සේ සංචිධායකයන් වෙත විරෝධතා එල්ලවන්නට පටන්ගෙන තිබේ.

හෙටින් ආරම්භවන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සමාරම්භක උත්සවය පැවති කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ඉන්දීය ධජය නැති බවට මේ වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ. සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය මේ වීඩියෝව මඟින් තරගාවලියට සහභාගිවන රටවල් අටෙන් හතක ධජ පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඉන්දියාවේ ත්‍රිවර්ණ ධජය නොමැති වීම කැපී පෙනිණි.

ඉන්දියාව පාකිස්තානයේ කිසිදු තරගයක් ක්‍රීඩා නොකරන බැවින්, ඔවුන්ගේ ධජය මඟ හැරීමට බලධාරීන් තීරණය කළ බව ඇතැම් සමාජ මාධ්‍යවල සඳහන් කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තවමත් මේ පිළිබඳ අදහස් දක්වා නැති නමුත් විචාරකයන් තර්ක කරන්නේ මේ අතපසුවීම් හිතාමතා සිදු කර ඇති බවය.

නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය යන කණ්ඩායම්වල තරග කරච්චි, ලාහෝර් හා රාවල්පින්ඩි යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර, ඉන්දියාව සහභාගිවන තරග ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button