EXCLUSIVETrending Article

“ශ්‍රී ලාංකේය කාන්තා ක්‍රිකට් වංශ කතාවේ ෆීනික්ස් කිරිල්ලිය ඇයයි” – ලෝක කාන්ත දිනය වෙනුවෙන් ක්‍රිකට් රසිකයකු චමරි අතපත්තු ගැන තැබූ සටහන.!

දිරිය කාන්තාවක් !
“මම සංගාගෙන් පටන් අරන් ජයසූරියගෙන් ඉවර කලා…කට්ටිය මගෙන් ඉල්ලන්නේ ඇන්කර් ඉනිමක්…”

එදා ලොව අංක එකෙහි වැජඹෙන කාන්තා පන්දුකරණය හමුවේ කැන්ගරුවන්ට බැට දුන් චමරිගේ කතාව එසේ වර්ණවත් විය.

ශ්‍රී ලාංකීය එක්දින කතා වස්‍තුවේ ඉහලම පෞද්ගලික ඉනිමේ හිමිකරුවා සනත් ජයසූරිය වෙද්දී සනාට පමණක් දෙවෙනි ඉනිමක් දියත් කල ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් හී යකඩ දියණියන් ප්‍රභල කැන්ගරුවන් ඉදිරියේ ලකුණු 178ක් නොදැවි රැස් කෙරුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමකුත් තියනවා යැයි ලොවට ඒත්තු ගන්වමිනි.

එදා 1984 වර්ෂයේදී එංගල්න්තයේ මැන්චන්ස්ටර්හීදී ප්‍රභල එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ සියල්ලන් අසරණ වෙද්දී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් පන්දු 170ක් තුල නොදැවි රැස් කල ලකුණු 189 එදා මෙදා තුල එක්දින තරගයකදී පිතිකරුවෙකු රැස් කල විශිෂ්ටතම ඉනිම ලෙස ක්‍රිකට් පිටු අතර ලියවෙද්දී ඉන් වසර 33කට පසුව එංගලන්තයේ බ්‍රිස්ටල් හීදී වරක් භාවිතා කල තණතීරුවක ලෝක ශූර ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ සෙසු සියළු ක්‍රිඩිකාවන් එකා පිට එකා ක්‍රිඩාගාරයට පියමං කරද්දී පන්දු 143ක් තුල නොදැවි ලකුණු 178ක් රැස් කරමින් ශ්‍රී ලංකා මුළු ලකුණු පුවරුවෙන් 62.96%කට වග කියමින් චමරි අතපත්තු නම් ක්‍රීඩිකාව රැස් කල එකී ඉනීම කාන්තා ක්‍රිකට් හී සටහන් වූ විශිෂ්ටතම එක්දින ඉනිම වෙනවාට සැකයක් නැත.

එකී ඉනිමක් දියත් කල චමරි ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කන්ඩායම සහ බැලූ විට අහසට පොළොව සේ සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හී ජීවය චමරිගේ ඒක පුද්ගල හැකියාව මත රකින්නට වෙර දරනා බව අවිවාදයක් නැත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල පිට දීප දේශ ජය ගන්නට හැකි වූවා නම් ඇය චමරි අතපත්තු ය.මීට පෙර ශෂිකලා සිරිවර්ධන නම් ඇත්තියෝ ලෝක තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වැජඹෙද්දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හී පණ කෙන්ද චමරි අතපත්තු බව සැවොම දන්නා රහසකි.

මන්ද කන්ඩායමේ එකම විශ්වාසනීය පිතිකාරණිය චමරි අතපත්තු නම් කන්ඩායම් නායිකාව නිසාවෙනි.

එදා ප්‍රභල කැන්ගරු ඉදිරියේ කල පෙලහර එකට එක කරමින් ජම්මාන්තර වෛරය චමරි සංසිදවා ගන්නේ එදා එක්දින පිටියේ තැබූ පිය සටහන් ශ්‍රී ලාංකීය කාන්තා විස්සයි විස්ස පිටියේද සනිටුහන් කරමිනි.මෙවරත් මේ යකඩ දියණිය එකී කෙරුම්කාරකම් වලට තෝරා ගත්තේ කාන්තා ක්‍රිකට් ලොව ඔටුනු පලන් රාජකීය කැන්ගරු රණශූරියන් ය.

ඒ ඔවුන්ගේම නිජභූමිය තුලම ය.ලාංකීය විස්සයි විස්ස තරග ආකෘතිය තුල ශතක රැස් කර ගන්නට වාසනාවන්ත වූයේ මහේලගෙන් පසු ඩිල්ශාන් පමණි.

එකී ඉනිම් අභිබවා ලාංකීය සිංහ දේනුවකගේ සිංහ සෙයියාව ඕස්ට්‍රේලියානු පිටි තුලින් පතුරවමින් චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු හෝ පිතිකාරිණියක් රැස් කල ඉහලම ලකුණු ගණන ලෙස ඇය ලකුණු 113ක් සටහන් කර ගන්නේ පන්දු 66ක් තුල හතරේ පහරවල් 12ක් සහ දැවැන්ත හයේ පහරවල් හයකින් ලොව හොදම පන්දු යැවීමේ අංශයට තනියම බඩකට පුරවමින් ය.

එදා ලකුණු 178ක් රැස් කරමින් ඇය කී කතාව අදටත් වලංගු ය.එනම් “මම සංගාගෙන් පටන් අරන් ජයසූරියගෙන් ඉවර කලා…”නම් කියමන ය.

මන්ද මුල් ලකුණු 50 රැස් කරන්නට පන්දු 44ක් වැය වූ චමරිට ලාංකීය පිතිකාරිණියක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස් කල කුලිදුල් ශතක රැස් කරන්නට වැය වූයේ ලකුණු 50ට පන්දු 16ක් පමණි.

ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජයගත් කන්ඩායමකි.නමුත් ඒ සියල්ල පුර්ෂාධිපත්‍යයට යට වෙද්දී කාන්තා ක්‍රිකට් වලින් ලෙජන්ඩ් පරපුරක් නිර්මාණය නොවී ය.

ලොව පලමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත් කර අපි පසු කලෙක ඇයගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සිංහාසනයේ හිදවන්න වෙර දුන්නා මිස ශ්‍රී ලාංකීය ජන සමාජය තුල කාන්තාවන්ට ඇති ප්‍රභලත්වය පෙන්වන්නට ඉඩක් නොවී ය.

ක්‍රීඩාවෙන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ හැරෙන්නට 19වන දශකයේ අග භාගය ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ස්වර්ණමය යුගයක් කියන්නට අපට කිසිවක් නැත.

ලාංකීය පෞඩත්වය පුර්ෂාධිපත්‍යයට නතු වෙද්දී ලොව ජයගත් දිරිය දියණියන් බිහි වූයේ අතෙහී ඇගිලි ගානටත් වඩා අඩුවෙනි.

ඒ අතරට එක් වන්නට චමරි අතපත්තු නම් සිංහ දේනුවකගේ මායාකාරි පිත්ත මේ වන විට අපමණ සාක්ෂි දරා ඇත.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවෙන් පුර්ෂාධිපත්‍යය ලොව වැජඹෙද්දී ලාංකීය කාන්තා සළකුණ ලොවට ඉස්මතු වූයේ හරි අඩුවෙන් ය.සුසන්තිකාලා දමයන්තිලා,ශ්‍රියානිලා,චමරිලා,තර්ජිනිලා බිහි වීම අහඹුවක් නොවිය යුතු ය.එසේ වන්නට ලාංකීය ජන සමාජයේ කාන්තා ප්‍රතිමූර්තිය නගා සිටුවන්නට පරිපාලනය බැදි සිටියා නම් චමරිලා එකට දහයක් කන්ඩායමේ ආසන පටි තද කර ලාංකීය කාන්තා ක්‍රිකට් සන්නාමය කාන්තා ක්‍රිකට් අහසේ ගව්ගානක් ඉහළින් වැජඹෙන්නට තිබුණ.නමුත් අවසනාවකට එදා අර්ජුන,අරවින්ද සනා මුරලිගේ පටන් වාස්,සංගා,මහේල, වෙනකල් ලිය වූ සුන්දර තේජාන්විත ලෙජන්ඩ් පරපුරක් අපගේ කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවේ හිමි නැත.

එකී ලෙජන්ඩ් පුරකක් ආරම්භ වේ නම් ඒ චමරි අතපත්තු ගෙන් ය.

එංගලන්තයේ සාරා ටේලර් සංගක්කාරලා ඩෝණිලා අභිබවා කඩුල්ල පිටුපස බැමි බදිමින් පුර්ෂාධිපත්‍යය පරාජය කරමින් කාන්තා අනන්‍යතාවය ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය කල හැටි මතක ය.එංගලන්තයට සාරාලා මෙන් ඕස්ට්‍රේලියාවට පෙරීලා ඇත.

ඉන්දියාවට මිතාලි රාජ්ලා,මන්දානාලා ඉද්දී දැන් අපිටත් අභිමානයෙන් “අපිටත් චමරි ඉන්නවා” යැයි උජාරුවෙන් කට උල් කර කිව හැක.

නමුත් සාරා ටේලර්ලා ගිය තැන ඒ තැනට තව ඕනෑ තරම් සාරා වැන්නන් ඔවුන්ට ඇත.

ඕස්ට්‍රේලියාවටද එහෙම ය.පෙරිලාගේ තැන ගන්න තව බොහෝ ඇත්තියෝ බලාගෙන ඇත.මිතාලි රාජ්ලා අවසන් භාගය නියලෙද්දී මන්දානාලා ලොව අංක එකේ වැජඹෙන්නේ මිතාලිලාගේ තැන ඉදිරියටත් රැක ගනිමින් ය.නමුත් ලංකාවේ වෙනස් ය.අදටත් චමරි හැර වෙන සරණක් නැත.චමරිගේ තැන ගන්නට ඇත්තියක් පෙනෙන මානෙක නැත.

අහඹුවක් සේ බිහිවෙන චමරිලා පුරුද්දක් සේ බිහි වන්නට වටපිටාව සැකසිය යුතුව ඇත.එදා අර්ජුනගේ පටන් සංගා මහේල වෙන තෙක් උඩුගම් බලා යාත්‍රා කල ශ්‍රී ලංකා ක්‍රිකට් හී කාන්තා ප්‍රතිරූපය චමරිගේ ආරම්භයෙන් නැවති ඇත.

මෙය චමරිගෙන් නොනැවතී තවත් චමරිලා බිහි වන්නට හැකි වේ නම් වෘත්තිය මට්ටමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිම භේදයකින් තොරව අතිවිශිෂ්ඨ ය.

කෙසේ නමුත් අප කාලයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හී ගොළු වී සිටියහ.මන්ද අපටම කියා අනන්‍යතාවයක් මේ මහ පොළොව මත බිහි කිරීමට අප අපොහොසත් වූ නිසාවෙනි.

නමුත් දැන් කටපුරා අපිට චමරි අතපත්තු ඉන්නවා යැයි ආඩම්බරයෙන් කිව හැක.ඇය එකී ආඩම්බරය සුවහසක් ලාංකීය ජනයාට ලබා දී ඇති බවට සාක්ෂි අපමණ ය.

ජයසූරියලා පරණ ක්‍රිකට් අළුත් කරා මතක ය.එමෙන්ම අරවින්දලාගේ විප්ලවකාරී ඉනිම් මතක ය.ඩිල්ශාන්ලා ක්‍රිකට් පොත අළුත් කරමින් තම්න්ගේ නමටම පහරවල් ලියවා ගත්තේ ය.සංගලා මහේලලාගේ නොබිදුනු සබඳතා වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් සුන්දර විය.එකී ඉතිහාසයට කාන්තා නාමයක් පෑන් තුඩකවත් ගෑවී තිබුනේ නැත.

නමුත්,

අනාගතයේදි චමරි අතපත්තු නම් සිංහ දේනුවකගේ කතා මාලාවක් යහමින් රසකර ලියවෙනු ඇත.ඉදිරි අනාගතයේ දරුවන්ට චමරිලා ගැන බොහෝ දේ අසා ගැන ගන්නට ඉතිරිව ඇත.මක් නිසාද චමරි අතපත්තු නම් දිරිය දියණිය සනාලා මෙන් ලාංකීය ක්‍රිකට් වෙනස් කලහ.එමෙන්ම බිග් බෑෂ් වැනි ජනප්‍රිය ලීගයන් හී ලාංකීය සංකේතයක් තිබුනේ නම් ඒ ඇයම පමණි.

ලාංකීය පිතිකාරිණියන් ලකුණු පනහක් රැස් කරන්නට වෙර දරද්දී හයේ හතරේ පහරක් එල්ල කිරීමට දත් මිටි කද්දි ඇය පහසුවෙන් ලකුණු කරා ගොස් අර්ධ ශතකය ශතක වලින් පිනවන්නට සෑම විටම වෙර දැරී ය.

ඉතිං ලෝක ක්‍රිකට් වෙනස් ආරයකට ගෙන ගිය සනාලා මෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලොවක් ඉදිරියේ කොන් නොවී තියන්නට වෙර දැරූ දිරිය දියණියක් වෙන චමරිගේ ලකුණු වසගය ලාංකීය ජන සමාජයේ කාන්තා සලකුණ නගා සිටුවන්නට වෙර දරන දිරිය දියණියන් අතරට එක් වෙන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හී ෆීලික්ස් කිරිල්ලිය ඇය වෙමිනි.

තවත් බොහෝ කලක් ගත වූවත් එකී විරුකම් සදා අමරණීය වෙනු ඇත.මන්ද අමාරුම කාලයේ බිහි වූ ලාංකීය කාන්තා ක්‍රිකට් සංස්කෘතික ලෝක ක්‍රිකට් හා යා කරපු දම්වැල් පුරුක චමරි අතපත්තු හැර අන් කවරෙකුවත් නොමැත.

එසේ ශ්‍රි ලාංකීය කාන්තා ක්‍රිකට් කතාන්දරයේ තනි ආසියෙකු වූ චමිරි අතපත්තු නම් දිරිය දියණිය ගැන මෙසේ සිහිපත් කරන්නේ,

ලෝක කාන්තා දිනය යෙදී ඇති අද දිනයේ සියලුම කාන්තා වීරවරියන්ගේ ගුණ සිහිපත් කිරීමට ය.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7