Cricket NewsEXCLUSIVE

“ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලවට අසරණයි. මොකද මට ටෙස්ට් මට්ටමේ පන්දු යවන්නන් සෑහෙන්න අඩුයි” – දිමුත් කරුණාරත්න

ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩේවිඩ් යං මහතාගේ උපදේශය වූයේ දුෂ්මන්ත චමීර ලබන ඔක්තෝබර් මාසය දක්වා ටෙස්ට් පිටියෙන් ඈත්කර තබන ලෙසය.

එහෙත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටි වේග පන්දු යවන්නන් දෙදෙනකුට ඉන්දියාවට යාමට වීසා නොලැබීම හේතුවෙන් ඒ වන විටත් ඉන්දියාවට ගොස් සිටි දුෂ්මන්ත චමීර ඉන්දියාවේම රඳවා ගැනිණ.

පළමු තරඟයේදී ලහිරු කුමාර අබාදයට ලක් වීමත් සමග ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න විශාල ගැටලුවකට මුහුණ දුන්නේය.

එහිදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ අවසන් බලාපොරොත්තුව වූයේ දුෂ්මන්ත චමීර, බැංගලූරුහිදී අද (12) පැවැත්වෙන \දෙවැනි තරගයට හෝ යොදාවා ගැනීමයි.

බෙංගලූරු ටෙස්ට් තරගයට දුෂ්මන්ත චමීර දෙන්නට පොරොන්දු වී සිටි තේරීම් කමිටු නිලධාරීන් හදිසියේම ඊට “බෑ” කියද්දී, ලකුණු අතර සිටින එකම පිතිකරුවා වන පැතුම් නිස්සංකද පිටකොන්දේ ආබාධයක් නිසා පැත්තකට වූයේය.

ඉදින් කාට කියන්නද? මොහාලි තරගයේදී ඉනිමකින් සහ ලකුණු 222 කින් පරාජය වීමෙන් අසරණ වූ දිමුත්ට සිදුවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි දෙයකි.

කෙසේ වෙතත්, සුරංග ලක්මාල්ගේ සමුගැනීමේ තරගය වන හෙයින් අඩුතරමේ ලක්මාල් හෝ කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන්නන්ගේ වගකීම බාරගනීවි යයි නායකයා බලාපොරොත්තු තබා සිටී.

“දුෂ්මන්ත චමීරව අපට තෝරාගන්න විදිහක් නෑ. මොකද වෛද්‍ය කමිටුව කියලා තියෙනවා ඔහුට තිබෙන ආබාධය හේතුවෙන් ඔහුව විවේක ගන්වන්න කියලා. අපට කියලා තියෙන්නේ දුෂ්මන්තව, සීමිත ඕවර තරග සඳහා පමණක්, පරෙස්සමෙන් පාවිච්චි කරමින් ක්‍රීඩා කරන්න කයලයි” යයි අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී නායක දිමුත් කරුණාරත්න පැවසීය.

කෙසේ වෙතත් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ තණතීරුව වටකරගත් හතරේ සීමාවෙන් ඇතුළත ප්‍රදේශය අලංකාර හරිත පැහැයකින් බබළමින් තිබුණ නමුත් තණතීරුවේ දක්නට ලැබුණේ තද දුඹුරු පැහැයකි.

එමෙන්ම එහි වියළි ස්වභාවය හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සඳහා දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරවීමේ බලාපොරොත්තුවක් ද ශ්‍රී ලංකා නායකයාට තිබේ.

“දිවා/රාත්‍රී තරගයක් වුණත්, මේ තණතීරුවේ පන්දුව දඟකැවේවි කියලා මා හිතනවා. ඒ නිසා දඟ පන්දු යවන්නන් දෙදෙනකු එක්ක තරගයට යාමේ සූදානමක් තියෙනවා” යයි දිමුත් කරුණාරත්න අද (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසූයේ ධනංජය ද සිල්වා කෙරෙහිත් විශ්වාසය තබමිනි.

කෙසේ වෙතත් නායකයාගේ එකම අරමුණ වන්නේ පළමු ඉනිමේදී ලකුණු 350 සීමාව ඉක්මවා යාමයි. පසුගිය තරගයේදීත් සාර්ථක ආරම්භයක් ලබාගත් පිතිකරුවන් වටා සෙස්සන් ඒකරාශී වුයේ නම් තත්ත්වය වෙනස් විය හැකි බවද දිමුත් කියයි.

ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී තරග වැදීම කෙතරම් අභියෝගාත්මක කාරණයක් ද යන්න දිමුත් හොඳින්ම දනී. එහෙත් ඇතැම් කරුණු කාරණා, නායකයකු වශයෙන් ඔහුට පාලනය කළ හැකි දේවල් නොවේ.

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉන් එකකි. දේශීය තරගාවලි සැකැස්ම තවත් එකකි. අන්තර්ජාතික තරග කාලසටහන අතිශය තීරණාත්මක සාධකයකි.

කෙසේ වෙතත් මෙම සියලු අභියෝග හමුවේ, නායකයකු වශයෙන්, ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ විවේචනය නොකරම, තමන්ගේ වගකීම ඉටුකිරීමට දිමුත්ට සිදුවී තිබේ.

“ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම බලන කිසියම් ක්‍රම වේදයක් තියෙනවා. ඒත් මම දන්නේ නෑ ඒක ටෙස්ට් තරගයකට කොයිතරම් බලපානවාද කියලා. මොකද ටෙස්ට් තරගයකදී විශාල වෙහෙසක් දරන්න වෙනවා. අනෙක මේ දැන් තමයි අපේ ජාතික සුපිරි තරගාවලියේ සිව්දින තරග පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ වෙනකම්, (2020 මාර්තු මාසයේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තියෙන් පසුව) සිව්දින තරගාවලියක් ලංකාවේ තිබ්බෙත් නෑ”

“අන්තිම කාලයේදී මට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි දිගින් දිගටම ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම. රමේෂ් මෙන්ඩිස් (ඕස්ට්‍රේලියාවේදී) ආබාධයකට ලක්වුණා.

දැන් අපිට හරි හමන් පිට දඟ පන්දු යවන්නෙක් නෑ. ඉන්න වේග පන්දු යවන්නන්ගෙන් එක්කෙනක් (ළහිරු කුමාර) ආබාධයකට ලක්වෙලා. දුෂ්මන්ත චමීර තෝරාගන්න විදිහක් නෑ” යයි කී දිමුත්….“ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලවට අසරණයි. මොකද මට ටෙස්ට් මට්ටමේ පන්දු යවන්නන් සෑහෙන්න අඩුයි…. ටෙස්ට් තරගයක් දිනන්න නම් කඩුලු 10 ක් නෙමේ කඩුලු 20 ක් ගන්න ඕනේ…. ”

“එක්දින තරග නැතිනම් විස්සයි-20 තරග වගේ ඕවර 50 ක් හෝ 20 ක් දාලා ඉවර වුණාම තරගය එතැනින් නතර වෙන්නේ නෑ….ටෙස්ට් තරගයක් දිනන්න නම් අනිවාර්යයෙන් කඩුලු 20 ක් ගන්න ඕනේ…

ඒත් ඉන්න පන්දු යවන්නන් එක්කෝ ආබාධ වලට ලක්වෙලා… තවත් අය ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් විවේක ගන්වනවා. ඒ වගේ තත්ත්වයක් එක්ක කඩුලු 20 ක් ගන්න නම් ඒ වගේ පන්දු යවන්නන් අපිගාව ඉන්න ඕනා”

“ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.. අපි ලකුණු කොච්චර ගැහැව්වත්, කඩුලු 20 ක් ගන්න පන්දු යවන්නන් අපේ කණ්ඩායමේ ඉන්නවාද? දැන් සුරංගත් ගියාට පස්සේ, මේ කණ්ඩායම ඉදිරියේ තියෙන ටෙස්ට් තරගාවලි තුනේදී මම තවත් බොහෝ අසීරුතාවට පත්වෙනවා” යයි කී දිමුත් කරුණාරත්න, අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සිය අව්‍යාජ සිතිවිලි වචන වලට පෙරළීය.

සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන සුරංග ලක්මාල් සම්බන්ධයෙන් කදිම ඇගයීමක් කළ ශ්‍රී ලංකා නායකයා…. “අපි දෙන්නා වසර 10 ක් විතර කාලයක් එකට සෙල්ලම් කළා. ඒත් මම දැකල නෑ තව වෙනතුරු, තරගයක් අතරමැදදී (ආබාධයකට ලක්වීමෙන්) ඔහු යනවා. ඒක තමා මම දකින හොඳම දේ…”

“මට ඕන වෙලාවක ඔහුගැන පූර්ණ විශ්වාසය තියලා ක්‍රීඩා කරන්න පුළුවන්. මම දන්නවා ඔහු කණ්ඩායම වෙනුවෙන් 200% ක් දෙනවා කියලා” යයි පැවසීය.

සුරංග ලක්මාල්ගේ අඩුව පුරවන්න පුළුවන් පන්දු යවන්නකු පෙනෙන තෙක් මානයේ නැති බවද දිමුත් කරුණාරත්න පැවසීය.

වසර 11 කට වැඩි කාලයක් පුරා ටෙස්ට් තරග 69 කදී කඩුලු 170 ක් දවාගත් සුරංග ලක්මාල් පැවසූයේ සිය තරග දිවිය දෙස ආපසු හැරී බැලූ විට තමන්ට සතුටු විය හැකි බවයි.

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න සහ ජෙෆ්රි වැන්ඩසේ

ඉන්දීය සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා, මයාන්ක් අගර්වාල්, රවිචන්ද්‍රන් අශ්වින්, කේ.එස්. භාරත්, ශ්‍රෙයාස් අයියර්, රවීන්ද්‍ර ජදේජා, විරාට් කෝලි, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, ප්‍රියාන්ක් පංචාල්, රිෂාබ් පාන්ට්, අක්ෂර් පටේල්, සෞරබ් කුමාර්, ෂුබ්මන් ගිල්, හනුමා විහාරි, උමේෂ් යාදව් සහ ජයාන්ත් යාදව්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button