නායකයාට ඇඟිල්ල දිගුකොට බැණ වැදුණු අල්සාරිට වැඩ වරදී !
එංගලන්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නායකයාට ප්රසිද්ධියේ ඇඟිල්ල දිගුකොට බැණවැදී පිටියෙන් ඉවතට යෑමට එරෙහිව කොදෙව් ක්රිකට් ආයතනය අල්සාරි ජෝසප්ට එරෙහිව තරග 2ක තහනමක් පනවා ඇත.
අල්සාරි ජෝසප්ගේ ක්රියාව මහත්වරුන්ගේ ක්රීඩාවට නොවටින පහත් ක්රියාවක් බවට ප්රබල විවේචන එල්ලවීමත් සමඟ මෙම තීරණය ඊයේ ප්රකාශයට පත් වූවේය. බටහිර ඉන්දීය කොදෙව් බ්රිජ්ටවුන්හි පෙරේදා පැවැති මෙම තරගයේදී අල්සාරි ජෝසප් පිටියෙන් ඉවතට යෑමත් සමඟ කොදෙව් පිල ක්රීඩකයින් 10 දෙනෙකු සමඟ පිටියේ රැඳී සිටියේය.
තරගයේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් පසු අල්සාරි ජෝසප් නායකයා වෙත පැමිණ පන්දු යවන්නන් රඳවාගත යුතු ආකාරය පිළිබදව යම් කතා බහක් ඇතිකරගත් අතර, ඊළඟ පන්දුවේදී පන්දු යවන්නා නායකයා වෙතට පැමිණ ඇඟිල්ල දිගුකොට බැණ වැදුණි. ඔහු සිව්වැනි පන්දුවේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවද, ඕවරය නිමාවීමෙන් පසු අමනාපයෙන් යුතුව ක්රීඩා පිටියෙන් ඉවත්වී ගියේය. කෙදෙව් පුහුණුකරු ඩැරන් සැමී ක්රීඩාගාරයෙන් පිටත හතරේ සීමාව අසලට පැමිණ වේග පන්දු යවන්නාගේ කෝපය සන් සිඳුවීමට උත්සාහ කළ ද එය ව්යවර්ථවී ගියේය.
මෙම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8ක ජයක් ලැබූ අතර, තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත් විය. ආරම්භක පිතිකරු බ්රේන්ඩන් කිං ලකුණු 102ක් ලබා ගත් අතර, කේසී කාර්ටි නොදැවී ලකුණු 128ක් ලබා ජය තහවුරු කර ගත්තේය.