EXCLUSIVETrending Article

“මෑත කාලයේ ලක් අම්මාගේ නම ඉදිරියේ සටහන් වෙන හොදම තරග හඹා යන්නා ඇන්ජලෝ මැතිව්ස්” – ක්‍රිකට් රසිකයකු ඇන්ජි වෙනුවෙන් තැබූ අපුරු සටහන.!

එදා සනාලා,කළුලා,අර්ජුන,අරාලගේ කාලයේ පටන් සංගා මහේලගේ කාලය වෙනකල් මුල් පුරුක්වල පිහිටෙන් බොහොමයක් තරග කනපිට ගැහුවා.

එදා ඒ පතාක මුල් පෙල අසාර්ථක වුනත් කැප්ටන් අර්ජුනගේ ඉදලා හෂාන් තිලකරත්න රොශාන් මහානාම වැනි චරිත ජයග්‍රහණය කියන අකුරු හය හොයාගෙන යන්න පුදුමාකාර මහන්සියක් වුණා.

ඒ නිසාමයි සාමූහික ජයග්‍රහණයක් විදියට හැමදෙනාගේම කැපවීමෙන් එතෙක් කාලයක් තුට්ටුවට දාපු ලක් අම්මාව අනිත් රටවල් පිච්චියටවත් මායිම් නොකරමින් අර්ජුනගේ ෆීනික්ස් කුරුල්ලෝ ටික අළු ගසා දමා ශ්‍රි ලාංකීය නාමය ලෝක කුසලාන නාමාවලියේ ඉස් මුදුනින්ම බබලවන්නේ…

සංගලා මහේලලා කාලේ ඒ බව රසල් ආර්නල්ඩ්,තිලකරත්න දිල්ශාන්ලා ඇද්දා…

ඔන්න සංගලා මහේලලා ක්‍රිකට් පාසලට ආයුබෝවන් කියන්න ලං වෙන කාලයේ පසුපෙලට ආරක්ෂක මුරගලක් එනවා. පරදින්න යන තරග උඩුයටිකුරු කරලා ජයග්‍රහණයකින් රැක දෙන්න මේ කළු සිංහයට කාලයත් එක්කම හැකි වෙනවා.
2008දී එදා හෂාන් තිලකරත්නලා අර්ජුනලා කරපු කෙරුවාව කරන්න අළුත් තුරුම්පුවක් පහල වෙනවා.

අර මිරැකල් මේ මිරැකල් කියලා නම් නොතැබුවට නිර්නාමික මිරැකල් ගොඩක් කරපු අධිපති කෙනෙක් අදටත් අපි එක්ක ඉන්නවා.

අවුරුදු 21න් ආපූ කළු සිංහයගේ තරම හරියටම ලෝකයාට මායිම් වෙන්නේ 2010 මෙල්බන් මිරකල් එකෙන්…
පරාජය පෙනි පෙනි තිබුන තරගයක් නම් දරාපු පිතිකරුවෙක් නොවුන ලසිත් මාලිංගවත් පැත්තක තියාගෙන ලකුණු 77ක් නොදැවී තලලා පොඩි කරලා සිංහ සෙයියාව හැමදාටම එමමයි කියලා කැන්ගරු අධිරාජ්‍යයේදීම කැන්ගරු බලාපොරොත්තු අමු අමුවේ පුච්චලා දැම්මා.

ලොකුවට ශතක ගහපු ලෙජන්ඩ් කෙනෙක් නම් නෙමෙයි. මෙච්චර කාලයක් ගිහින් තමන්ගේ ශතක මල්ලට පුරවා ගන්නේ ශතක තුනක් විතරයි. ඒත් අදටත් කන්ඩායමේ හිටපු වටිනාම පිතිකරුවා ඇන්ජි…

ඒකට හේතුව ලොකු ලොකු ශතක නැති වුනාට පනහේ කෑලි ගහලා ලාංකීය පිතිකරන දම්වැලේ වැදගත්ම පුරුකෙදී පිටියට සම්ප්‍රාප්ත වෙලා පරදින්න යන තරගයක් ජයග්‍රහණය තෙක් ඇදගෙන යන ශක්තිමත් යෝධයා තාමත් ජවසම්පන්න කළු මුරගල නිසා…

2010 පටන් ලක් අම්මාගේ අනාගතය වර්තමානය රකින්න අදටත් පිත්තෙන් දහඩිය හෙලන එකෙක්…

2016 විස්සයි විස්ස ලෝක කුසලානය

තරගය ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර, එංගලන්තය පන්දුවාර විස්සෙදි කඩුළු හතරක් දැවී ලකුණු 171ක් පුරවා ගන්නවා.
ඊට පිළිතුරු දෙන්න ආපු සිංහයින් එංගලන්ත පන්දුවට කරකියා ගන්න බැරුව විටකදී ලකුණු 15කට කඩුළු 4ක් පූජා කරනවා.
දැන් පිටියේ ඇන්ජලෝ මැතිව්ස් එක්ක චාමර කපුගෙදර

ඔවුන් දෙපල ලකුණු 80ක සබදතාවක් ගොඩ නගද්දි ඇන්ජිගේ හුදකලා සටනට රුකුලක් වෙලා තිසර ලකුණු 20කින් වගේම දසුන් ශානක ලකුණු 15කින් සහය ලබා දෙනවා.

අවසානයේ ලකුණු පුවරුව දිස්වන්නේ කඩුළු 8කට ලකුණු 161ක් රැස් කරලා.
තරගයේ ජය ලකුණු 10කින් එංගලන්ත ක්‍රිකට් මුල් පදිංචිකරුවන්ට හිමි වූවත් ලක් අම්මාගේ සායම් රකින්න ඇන්ජිගේ හුදකලා භීතිකාව ලකුණු 73කින් එංගලන්ත ජයග්‍රහණයට පාර හරස් කරන්න විඩෙන් විඩේ උත්සහ කරා.

තවත් තරගයක් 2011දී ශ්‍රි ලංකාව සහ පකිස්තානය අතර, මුලින්ම පිත්තෙන් ගුටි බැට දුන් පකිස්තානය කඩුළු 7කට ලකුණු 247ක් රැස් කර ගන්නවා.

ඊට පිලිතුරු දෙන්න ආපු ශ්‍රි ලංකා ලකුණු පුවරුව විටෙක ලකුණු 97කට කඩුළු 4ක් දැවී ජයග්‍රහණයට පන්දු 151කදී ලකුණු 151ක් අවශ්‍ය වෙනවා.
කොතරම් පීඩනය තිබ්බත් ඒ පීඩනය තමන්ගේ ඔලුවෙන් ගලවලා පිත්ත අතට අරන් පිටියට බහින ඇන්ජි ආයෙමත් කතා කරනවා පිත්තෙන්…

චන්දිමාල් එක්ක ජයග්‍රහණය සොයාගෙන යද්දි තිරිමාන්න අජන්ත මෙන්ඩිස්ගේ සහය ඇතුව අවසාන පන්දුවාරයේ ලකුණු 12ක් ජයග්‍රහණයට ඕනේකම මතු වෙලා ඇන්ජි කුලසේකර එක්ක පිටියේ තනි වෙනවා.

පලමු පන්දුවට ඇන්ජිගෙන් සැනසුම් සුසුම් පහලවෙන හයේ පහරක්…
දෙවෙනි පන්දුවට ලකුණු නොමැතිව නිසොල්මන් වෙනවා.
තුන්වෙනි පන්දුවට ලකුණු දෙකකට ඇන්ජි කුලසේකර එක්ක හඹා යද්දී හතර වෙනි පන්දුවෙන් ජයග්‍රහණයට මදී පාඩු පුරවාගෙන ලකුණු හතරකින් ලක් අම්මාගේ ජයග්‍රහණය තහවුරු කරනවා.
ඇන්ජිගේ ලකුණු කතාව ලියවෙන්නේ ලකුණු 80යි.ඒත් ඒ අර්ධ ශතකය ඇතුලේ ජයග්‍රහණය කියන රන් තරම් වටින නාම පදය ලියවිලා තිබ්බා.

ඒ වගේම මේ,
දිනය 2010 නොවැම්බර් 3 වෙනිදා…ස්ථානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයශ්‍රි ලංකාව සහ සත්කාර ඕස්ට්‍රේලියාව අතර පලමු එක්දින තරගය.

මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කැන්ගරුවන් කඩුළු 8ක් දැවී ලකුණු 239ක් ශ්‍රි ලංකා පන්දුවෙන් උදුරා ගන්නවා.
එහිදී තිසර පෙරේරා ලංකාව වෙනුවෙන් දිලිසෙන තරුවක් වෙනවා.ඒ කඩුළු පහක් දඩයම් කරලා.හැබැයි ඒ තරුව දිලිසෙන්නේ ටික වෙලාවයි.

අනතුරුව පන්දුවට පහර දුන් සංගා මහේල ඩිල්ශාන් කියන බර අවි ත්‍රිත්වයෙන් සවිමත් වූ සිංහයින් කැන්ගරු වේග පන්දු භීතිකාවෙන් අගාදයට යනවා.

පල්ලම් බහින සිංහයින්ගේ ලකුණු පුවරුව වරක් සටහන් වෙන්නේ ලකුණු 107කට කඩුළු 8ක් පූජා කරලා…
එක පැත්තක ඇන්ජලෝ මැතිව්ස් කියන සංගා මහේල ඩිල්ශාන් හදපු කළු සිංහයා තනි වෙනවා.ඇන්ජි එක්ක පිටියට එන්නේ පන්දු යවන්නෙක් වෙච්චි ලසිත් මාලිංග.

ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ කවුද කියලා ලෝකෙටම පෙන්වන වෙලාව ලං වුනා..ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු අත් හැරපු තරගයක්…තනිකරම කනපිට ගැහුවා.

මාලිංගව කඩුල්ලේ තියාගෙන දෛරවාන්විත සිංහයින්ගේ සිංහ ජයපැන් සොයාගෙන කළු සිංහයා මුහුදුබත් වූ නැවෙන් බෝට්ටුවට පැනලා ජය කණුව එනකල් යාත්‍රා කලා…

මාලිංග ලකුණු 56කින් ඇන්ජිට සහය වෙද්දි ඇන්ජි තනියම ලකුණු 77 ගහලා දිනන්න ගහපු ආශ්චර්යය ඉනිමක් කැටයම් කරා…ඇන්ජලෝ මැතිව්ස් කියන පොඩි මනුස්සයට සංගා මයියා ඩිලී වැනි පතාක යෝධයින්ගේ බර ඔවුන්ගෙන් පස්සේ හොද හැටි දරා ගන්න පුළුවන් කියලා මෙල්බර්න් මිරැකල් තුලින් ලෝකෙටම පෙන්නුවා.

2017 අගෝස්තු 6 වෙනිදා ආයෙමත් ඒ වගේ විප්ලවයක් වෙනවා.ශූරයින්ගේ කුසලානයේ ප්‍රභල ඉන්දියාව සමග තරගය

ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දීලා ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක් ඒ දවස් වල ඉදන් සංගා මහේල ඩිලී නැතුව අසරණ වෙච්චි අබ්බගාත සිංහයින්ට ලබා දෙනවා.

හැමෝම හිතුවේ ඉන්දියාවට පහසු ජයක් ලැබෙයි කියලා.

මොකද ශ්‍රි ලංකා ක්‍රිකට් මණ්ඩලේ කචල් වෙලා ශ්‍රි ලංකා ක්‍රිකට් රෝගියාගේ තුවාලය උඩු දුවලා තිබුන වෙලාවක තිබුන තරගයක්…

දික්වැල්ල ආ ගමන් ක්‍රීඩාගාරයට පියමං කරද්දි දනුෂ්ක එක්ක සිංහ නම්බුවට වෙන අවමානයෙන් ගලවන්න කුසල් මෙන්ඩිස් පිටියට එනවා.

සාර්ථක සම්බන්ධතාවයක් පවත්වලා මූලික අඩිතාලම සිංහ පිති උත්සහවන්තයෝ ටිකට ලබා දෙනවා.
මතකයි කුසල් පෙරේරා නොන්ඩි ගගහා සනාගේ පහරවල් වල චිත්‍රපටියක් මවලා ආබාධය උහුලන්න බැරි තැන ලකුණු 47ක් තම පිත්තෙන් ඉන්දීය පන්දු යවන්නන්ව ගොදුරක් කරගත් ඔහු නික්ම යනවා.

ඇන්ජලෝ මැතිව්ස් කියන ශ්‍රි ලංකා ක්‍රිකට් හොයාගත් අරුම පුදුම තරග නිමකරන ඉන්ද්‍රජාලිකයා පිටියේ තනි වෙනවා.
පන්දුවෙන් පන්දුව ප්‍රභල ඉන්දියාවේ රාජ ඔටුන්නේ ඔබා ඇති මැණික් ගල් ගලවපු ඇන්ජි නම් ලාංකීය කළු තුරගයා තරගය ජයග්‍රහණය තෙක්ම අසේල ගුණරත්න සමග දුව යන්නේ ප්‍රභල ඉන්දීය රාජ ඔටුන්න එකල අසාර්ථක පට්ටමට කැලෑ පත්තර ගසා තිබූ ලාංකීය සුක්කානමේ ප්‍රධාන රියදුරුගේ අතින් දැඩි අනතුරකට ඉන්දීය ක්‍රිකට් ඇද වට්ටලා ලාංකීය සිංහ තේජස තාමත් ඉවර නැති බව පණ අදින ශ්‍රි ලංකා ක්‍රිකට් රෝගියාගේ හුස්ම ගොඩාක් හයියයි කියලා ලොවක් බලද්දි නැවත නැවත වමාරලා…

ඉතිං කලක් අමාරුම මාර්ගයේ ධාවනයට හමු වුන සුක්කානම් භාර රියදුරුගේ ජයග්‍රාහී මැවුම්වාදී විශ්වකර්ම ඔහුගේ ලොකු ලොකු රාජකීය ඉනිම් නැතුවට ජයග්‍රහණය වෙනුවෙන් පුළුවන් හැම වෙලාවෙම ඇන්ජලෝ මැතිව්ස් නම් කළු සිංහයගේ පිත්ත කතා කරා.

එදත් අදත් ඇන්ජලෝ මැතිව්ස් නම් ලේබල් එක ලාංකීය ක්‍රිකට් වංශකතාවේ සදා නොමැකෙන රනින් කෙටු නාමයක් වෙන්නේ පුද්ගලික වාර්තාවන් වලට වඩා ජයග්‍රහණය වෙනුවෙන් හඩ නගපු පිත්තක් ඇන්ජිගේ නමට තියෙන හින්දයි.

මෑත කාලයේ ලක් අම්මාගේ නම ඉදිරියේ සටහන් වෙන හොදම තරග හඹා යන්නා ඇන්ජලෝ මැතිව්ස් හැර වෙන කවුරුත් නොවන බවට මේ තාක් ඇන්ජලෝ මැතිව්ස් පෙලහර පෑ වික්‍රමයන් එමට සාක්ෂි දරාවි… සුභ උපන්ද ඉනයක් ඇන්ජි.!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7