Cricket NewsEXCLUSIVE

විස්සයි-20 පිටියේ හයවැනි වැඩිම ප්‍රහාරක වේගය සහිත කුවේට් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා – කව්ද මේ රවිජ සඳරුවන්

SixCricket අපි අද තබන සටහන වෙන්වන්නේ කුවේට් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා පිලිබඳවය. වර්ථමාන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ රාමුව තුල සිටින වැඩිම ප්‍රහාරක වේගය සහිත පිතිකරුවන් අතර සයවැනි ස්ථානයේ පසුවන රවිජ සඳරුවන් ලාංකිකයෙකි. දකුණතින් පිත්ත හසුරව රවිජ වත්මන් කුවේට් ජාතික කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙසින් වර්ථමානයේදී කටයුතු කරයි.

රවිජ පසුගියදා ආරම්භ වූ අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියට බදුරලිය කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ අතර ඔහු මෙවර තරඟාවලිය අර්ධශතකයකින් කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ කලේය.

රවිජ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කලේය.ඉන් අනතුරුව පාසල් සමය නිමා වූ පසු ඔහුගේ නවාතැන වූයේ සුප්‍රකට ක්‍රිකට් සමාජයක් වන සැරසන්ස් ක්‍රීඩා සමාජය ය.

2012 වසරේ සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් යුධ හමුදා කණ්ඩායමට එරෙහිව පළමු පෙල වරම් දිනාගත් ඔහුට විස්සයි විස්ස වරම් ලබාගන්නට තවත් වසර තුනක් බලාසිටින්නට සිදුවිය.

2019 වසරේදී කුවේට් ජාතික කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් රවිජ තම පළමු තරඟයේදීම පන්දු 36 කදී නොදැවී ලකුණු 68 ක් රැස් කරමින් මාලදිවයින් කණ්ඩායමට එරෙහිව තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේය.

එතැන් පටන් මේ දක්වා රවිජ යනු කුවේට් ජාතික කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බව නොරහසකි. ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 19 ක් ක්‍රීඩා කර ඇති ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක හතරක් තම නම ඉදිරියෙහි සටහන් කර ගත්තේය.

29 හැවරිදි රවිජගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවිය තුල ලකුණු 655 ක් රැස් කරගන්නට සමත් වූ ඔහුගේ ඉනිමක සාමාන්‍ය 38.52 ක් වන අතර ප්‍රහාරක වේගය 160.14 කි.

එදා මෙදා තුර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සයවැනි ඉහලම ප්‍රහාරක වේගය සටහන් වනුයේ රවිජගේ නම ඉදිරියෙනි. ග්ලෙන් මැක්ස්වෙල්,ඇන්ඩෲ රසල්,ටිම් ඩේවිඩ් වැනි පිතිකරුවන් අභිබවා රවිජ තම ප්‍රහාරක වේගය රඳවාගන්නට සමත්ව ඇත. විස්සයි විස්ස ඉනිමක වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතුරින් හත්වැනි ස්ථානයේ රවිජ පසුවෙයි.

රවිජගේ ශතකය තම 3 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේදී වාර්ථා වූ අතර එම ඉනිම ලකුණු 188 ක ඉලක්කයක් හඹා ගිය කුවේට් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය අඩි තාලම දැමීය. රවිජගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල වටිනාම ඉනිම එය බව නම් නොඅනුමානය.

වර්ථමානයේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ඉහලම ප්‍රහාරක වේගය සතු ආරම්භක පිතිකරුවා වන රවිජගේ ජාත්‍යන්තර දිවියේ ඔහුට පසුකරන්නට තවත් බොහෝ දුරක් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button