Cricket NewsEXCLUSIVEInternational

ඉන්දු-ඔස්ට්‍රේලියා යොවුන් ලෝක කුසලාන අවසන් සටන හෙට

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 15 වැනි අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11) බෙනෝනිහිදී පැවැත්වේ. එහිදී ඉන්දීය කණ්ඩායම සමඟින් ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතය.

යොවුන් ලෝක කුසලාන 5ක් දිනා ගනිමින් වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ඉන්දියාව වත්මන් ශූරයන් (2022) ලෙසින් මේ තරගයට එක් වන අතර, ඔස්ට්‍රේලියාව සිවුවැනි කිරුළ දිනා ගැනීම සඳහා හෙට තරගයට එක් වෙයි.

ඉන්දියාව 2000, 2008, 2012, 2018 සහ අවසන් වරට 2022 පැවති තරගාවලියේදී ශූරයන් වූ අතර, පළමු යොවුන් ලෝක කුසලාන තරගාවලිය (1988) ජයගත් ඔස්ට්‍රේලියාව ඉන් අනතුරුව 2002 සහ 2010දී ශූරයන් බවට පත්විය.

පිට පිට 5 වැනි වරටත් අවසන් තරගයට පිවිසීමට සමත් වූ ඉන්දියාව මෙතෙක් පැවති තරගාවලි 14දී 8 වරක් අවසන් තරගයට එක්ව ඇති අතර, මෙවර එක් වූයේ 9 වැනි වරටය. මෙවර 6 වැනි වරට අවසන් තරගයකට එක්වීමට සමත් වූ ඔස්ට්‍රේලියාව අවසන් වරට 2018 තරගාවලියේදී අවසන් තරගයට එක්ව තිබිණි.

ලෝක කුසලාන තරගාවලින්හිදී දෙපිල 8 වරක් හමුව ඇති අතර, ඉන් තරග 6ක් ඉන්දියාවත්, තරග 2ක් ඔස්ට්‍රේලියාවත් ජයගෙන තිබේ. මේ දෙපිල අවසන් තරගයකදී හමුවන්නේ 2018 වසරෙන් පසුවය. නවසීලන්තයේ පැවති එම තරගාවලියේදී ඉන්දියාව කඩුලු 8ක ජයකින් ශූරතාව දිනා ගත්තේය.

අවසන් වරට පසුගියවර (2022) යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ද මේ කණ්ඩායම් දෙක හමුවූ අතර, එම තරගය ලකුණු 96කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

මෙවර තරගාවලියේ මේ කණ්ඩායම් දෙකේ දස්කම් අනුව වැඩි වාසි ඉන්දීය පිල සතුවී තිබේ. තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර මුල් ස්ථාන 3ම ඉන්දීය පිතිකරුවන් සතුවී ඇති අතර, තෙවැනි කඩුලුලාභියා ද ඉන්දීය ක්‍රීඩකයෙකි.

තරග 6ක් ක්‍රීඩා කළ ඉන්දීය පිල වෙනුවෙන් උදය සහරාන් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 389ක්, මුෂීර් ඛාන් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 338ක් සහ සචින් දාස් ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ ලකුණු 294ක් රැස් කර තිබේ. ඔස්ට්‍රේලියානු වැඩිම ලකුණුලාභියා වන හැරී ඩික්සන් අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 267ක් රැස් කරමින් 5 වැනි තැන සිටී.

ඉන්දියාවේ සෞමි පාණ්ඩේ කඩුලු 17ක් බිඳ දමා ඇති අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ටොම් ස්ට්‍රේකර් සහ කැලම් විඩ්ලර් කඩුලු 12 බැගින් බිඳ දමමින් 5 සහ 6 වැනි ස්ථානවල පසු වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button