නායක බුම්රාගෙන් ඕස්ට්‍රේලියාවට වේගපන්දු පාඩමක් !
අපේක්ෂා කළ ආකාරයෙන්ම මහත් උද්වේගකර ටෙස්ට් තරගාවලියක පළමු තරගයේ පළමු දිනය නිමා වූයේ කඩුලු 17 ක් ඇද වැටීමෙනි. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් නුවර ‘ඔප්ටස්’ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනය නිමා වන විට ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 67 කට කඩුලු 7 ක් අහිමි කරගෙන සිටියහ.
ඕස්ට්‍රේලියානුවන්ගේ ලකුණු 67, ඉන්දියානුවන් සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 150 ට පිළිතුරු වශයෙනි. දෙපැත්තේම වේග පන්දු යවන්නන් රජකළ දිනයක ලකුණු 217 ක් ඇතුළත කඩුලු 17 ක් බිඳ වැටී තිබිණ. දිනය අවසන් වනවිට ඇලෙක්ස් කේරි (නොදැවී 19) සහ මිචෙල් ස්ටාක් (නොදැවී 06) කඩුල්ලේ රැඳී සිටියද සත්කාරකයෝ තවමත් ඉන්දියානුවන්ට වඩා ලකුණු 87 ක් පසුපසින් සිටිති.
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වූ මිචෙල් ස්ටාක් (14/2) සහ ජොස් හේසල්වුඩ් (29/4) වේග පන්දු භීතිය ආරම්භ කළ නමුත් ඉන්දීය පිලේ තාවකාළික නායක ජස්ප්‍රීට් බුම්රා (17/4) ඕස්ට්‍රේලියානුවන්ව කනෙන් අල්ලා අගලට වීසි කළේය. තම කණ්ඩායම ලකුණු 150 කට දැවී ගියද මුල් දිනයේ තරගයෙන් අනතුරුව බුම්රා කියා සිටියේ මෙය (බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලිය) ඒක පාර්ශ්වික තරගාවලියක් නොවන බවයි.
ඉන්දීය පිලේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා මෙම තරගයට ක්‍රීඩා නොකරන බැවින් බුම්රා නායකත්වය දරන නමුත් රෝහිත් ෂර්මා දෙවැනි ටෙස්ට් තරගයේ සිට ඉන්දීය පිලට එක්වනු ඇත.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් ඉන්දියානුවෝ, තේ පානය පෙනි පෙනී තිබියදී, ඕවර 49.4 ක් ඇතුළත, ලකුණු 150 කට දැවී ගියහ. සියල්ල ආරම්භ වූයේ කෝඩුකාර නේදන් මැක්ස්වීනි ගලී හි සිට රැකගත් උඩපන්දුවකිනි. ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳ වැටීම නිසා ඉන්දියානුවෝත් වාසනාව සොයමින් සිටියදී ලෝකේෂ් රාහුල්ගේ උඩපන්දුවක් විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය. එහෙත් විතීවි ක්‍රමවේදය හේතුවෙන් එය වෙනස් කරන්නට විනිසුරුට සිදුවීමෙන් ලකුණු 47 දී සිව්වැනි කඩුල්ලත් ඇද වැටිණ.
රිෂාබ් පාන්ට් පන්දු 78 කින් ලකුණු 37 ක් ලබාගත් නමුත් පැට් කමින්ස්ගේ පන්දුවකට හුක් පහරක් ගැසීමට ගිය වමත් පිතිකරුවා තණතීරුව මත ඇද වැටුණ නමුත් ඔහු නැඟී සිටින විට පිටියේ ඈත සිටි ස්ටීවන් ස්මිත්ට උඩපන්දුව රැකගෙන සිටියේය.
පන්දුව අතට ගැනීමෙන් පසුව තරගයේ තාලය වෙනස් කළ නායක බුම්රා, පන්දු 14 ක් ඇතුළත දී කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ටේ්රලියානු ලකුණු පුවරුවේ කඩුලු 3 කට 19 ක් ලෙසින් සටහන් කළේය. ඕස්ටේ්රලියානු ඉනිමේ හත්වැනි ඕවරය නිමාවීමටත් පෙරම, කෝඩුකාර නේතන් මැක්ස්වීනි, උස්මන් කවාජා සහ ස්ටීවන් ස්මිත් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. ඉතාම පහසු උඩපන්දුවක් දෙවැනි ස්ලිප් හි සිටි විරාට් කෝලිගේ අතින් ගිළිහී නොගියේ නම් බුම්රාගේ නමට ඉදිරියෙන් තවත් කඩුල්ලක් සටහන් වීමට තිබිණ.
ටෙස්ට් ශතක 32 ක් ද සමගින් ලකුණු 6985 ක හිමිකරුවකු වන ස්ටීවන් ස්මිත්ගේ ටෙස්ට් දිවියේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය දෙවැනි අවස්ථාව එයයි. එහෙත් එය ඔහුගේ අවසන් ටෙස්ට් තරග හතරේදීත් සිදුවූ දෙවැනි අවස්ථාව වන අතර ඔහුගේ ලකුණු යන්ත්‍රය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
හතරේ පහර දෙකක් ද සමගින් ට්‍රැවිස් හෙඩ් තරමක ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූවත් එය වැඩි වේලාවක් නොපැවතිණ. පන්දු 13 කින් ලකුණු 11 ක් ලබාගත් හෙඩ් දැවීගියේ වේග පන්දු යවන හර්ෂිත් රානාට මංගල ටෙස්ට් කඩුල්ල පූජා කරමිනි.
ඉන්දීය ඉනිමේදී මෙන්ම ඕස්ට්‍රේලියානු ඉනිමේදීත් ස්ලිප් ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම වෙසෙසින් කැපී පෙනිණ. මිචෙල් මාෂ්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය පන්දුවක් වෙත පැන්න ලෝකේෂ් රාහුල් තණබිස්සට අඟලක් පමණ තිබියදී උඩපන්දුව ඩැහැ ගත්තේය.
ඉන්දීය ඉනිමේදී හර්ෂිත් රානා දැවී ගියේත් එවැනිම විශිෂ්ට පන්දු රැකීමකිනි. ජොස් හේසල්වුඩ්ගේ පන්දුවක් රානාගේ පිත්තේ වැදී යද්දී ගලී හි සිටි නේතන් මැක්ස්වීනි ඒ වෙත පැන්නද උඩපන්දුව ඔහුගේ අතේ වැදී ඉවත ගියේය. එහෙත් දෙවැනි ස්ලිප් හිටි මානස් ලැබුෂේගේ දකුණත වහා ක්‍රියාත්මක වූයෙන් හේසල්වුඩ්ට කඩුලු 4 ක් හිමිවිය.
සිය ප්‍රතිවාදී නායකයා වූ පැට් කමින්ස්ගේ ඉනිමත් ලකුණු 3 කින් නිමාකළ බුම්රා ආපසු ක්‍රීඩාගාරයට ගියේ ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමෙන් පසුවය.
“මෙහෙම වෙයි කියලා හිතන්න කාටවත් පුළුවන්කමක් තියේවි කියලා මම නම් හිතන්නේ නෑ… ඕස්ට්‍රේලියානුවන් මේ තරග වදින්නේ ලෝකයේ හොඳම වේග පන්දු යවන්නාට එරෙහිවයි” යයි එංගලනත පිලේ හිටපු නායක මයිකල් වෝන් ‘ෆොක්ස් ක්‍රිකට්’ සේවය වෙනුවෙන් පැවසීය.
ඉන්දියාව – පළමු ඉනිම 150 යි
(ලෝකේෂ් රාහුල් 26, රිෂාබ් පාන්ට් 37, ධුර්වී ජූරල් 11, නිතිෂ් කුමාර් 41, මිචෙල් ස්ටාක් 14/2, ජොෂ් හේසල්වුඩ් 29/4, පැට් කමින්ස් 12/2)
ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම කඩුලු 7 ට 67 යි
(නේදන් මැක්ස්වීනි 10, ට්‍රැවිස් හෙඩ් 11, ඇලෙක්ස් කේරි නොදැවී 19, ජස්ප්‍රීට් බුම්රා 17/4, මොහොමඩ් සිරාජ් 17/2)