Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට එරෙහිව ස්ටීව් ස්මිත්ගෙන් Comeback එකක්.

තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 405 ක් ලබා සිටියේය.

තරග 5 කින් සමන්විත බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ.

සිය 112 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ස්ටීවන් ස්මිත් අද ලබාගත්තේ සිය 33 වැනි ටෙස්ට් ශතකයයි. ටෙස්ට් ලකුණු 10,000 කඩයිමට ආසන්න වෙමින් සිටින ස්ටීවන් ස්මිත් (9,805) අද දිනය පුරා පන්දු 190 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ස්මිත්ගේ 32 වැනි ටෙස්ට් ශතකය වාර්තා වූයේ 2023 ජූනි මාසයේදී වන අතර අද ශතකය ඔහු ටෙස්ට් ඉනිම 25 කට පසුව ලබාගත් ශතකයකි.

තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම පාහේ වර්ෂාවට සේදී ගිය අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවෝ මුල් දිනය නිමා වන කිසිවකු නොදැවී ලකුණු 28 ක් ලබා සිටියහ. අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් පසුව, ලකුණු 10 ක් ලබාගන්නා අතරේ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම දැවී ගියහ. අංක 3 පිතිකරු මානස් ලැබුෂේන් දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 75 ක් ලෙසිනි.

එතැනින් එක්වූ ස්ටීවන් ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් (152) දෙදෙනා, සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 241 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගයේ වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ඇදගත්හ. මේ පිතිකරුවන් දෙදෙනාගේ වේගවත් ලකුණු ලබාගැනීම හේතුවෙන් අද දිනයේදී පමණක් ලකුණු 377 ක් ඕස්ට්‍රේලියානු පිලට එකතු විය.

මේ අතරවාරයේදී කඩුලු 5 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා ඕස්ට්‍රේලියාව තුළදී දවාගත් කඩුලු සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළට ගෙන යමින් ඉන්දියානු විශිෂ්ටයා වන කපිල් දේව්ට (කඩුලු 51) ආසන්න වෙමින් සිටී. අනෙකුත් ඉන්දීය වේග පන්දු යවන්නන් වන මොහොමඩ් සිරාජ් සහ ආකාශ් දීප් දෙදෙනාට කඩුලු දවාගැනීමේ අවස්ථාවක් නොලැබිණි. මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් කිසිඳු අපහසුතාවකින් තොරවම ලකුණු ලබාගන්නට වූහ.

දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව ජස්ප්‍රීට් බුම්රා විසින් පන්දු 12 ක් ඇතුළතදී ස්ටීවන් ස්මිත්, මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් තිදෙනාවම දවාගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින්, කඩුලු 3 ට 316 ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව කඩුලු 6 ට 327 ක් ලෙසින් වෙනස් විය. එහෙත් කඩුලු රකින්නා වන ඇලෙක්ස් කේරි (නොදැවී 45) සහ පැට් කමින්ස් (23) දෙදෙනාගේ දායකත්වය නිසා ඕස්ටේ්‍රලියානු ලකුණු සංඛ්‍යාව 400 කඩඉම පසුකර ගියේය.

ඉන්දීය වේග පන්දු යවන්නන් යම්තාක් දුරට සාර්ථක වූ නමුත් ට්‍රැවිස් හෙඩ් හමුවේ ඔවුනට උත්තරයක් නැති ගානය. විශේෂයෙන්ම පන්දුව පරණ වීමත් සමගින් ඉන්දියානුවන්ට විකල්ප නැතිවිය. ඇඩිලේඩ් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 140 ක් ලබාගනිමින් තරගයේ වාසිය ඕස්ටේ්‍රලියානුවන්ට ඇද දුන් වමත්කාරයා, මෙවර තරගාවලියේදී ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ 11, 89, 140 සහ 152 ක් ලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button