ඉන්දියාවට බුම්රා – ආකාශ්ගේ පිහිටයි !
බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලියේ වත්මන් සම තත්ත්වය (1-1) වෙනස් කර නොගෙනම ඊළඟ ටෙස්ට් තරගයට යාමට පාර කපාගත් ඉන්දියානුවෝ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (17 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 252 ක් ලබාගත්හ. අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණ 39 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ජස්ප්‍රීට් බුම්රා (නොදැවී 10) සහ ආකාශ් දීප් (නොදැවී 27) ඉන්දීය පිලට අත්විය හැකිව තිබූ පරාජයකින් තම කණ්ඩායම බේරා ගත්හ.
දිගින් දිගටම වර්ෂාවෙන් බාධා වූ තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 445 ක් ලබාගත්හ. එබැවින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ඉන්දීය පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 246 ක් ලබාගත යුතුව තිබිණ. ඉන්දීය පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 213 දී බිඳ වැටුණේ ඕස්ටේ්රලියානු බලාපොරොත්තු දල්වමිනි.
තරගයේ ඉතිරිව ඇත්තේ තවත් එක දිනයක් වන බැවින්, ඉන්දීය මුල් ඉනිම ලකුණු 246 ට පෙර අවසන් කරගත හැකිවූයේ නම් පිට පිටම දෙවැනි වරටත් ඉන්දියානුවන් පිතිහරඹයට යවා ඔවුන් පීඩනයට ලක්කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන්ට තිබිණ. එහෙත් මිචෙල් ස්ටාක් (83/3) සහ පැට් කමින්ස් (80/4) හමුවේ අභීත පිතිහරඹයක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා සහ ආකාශ් දීප් ඉන්දීය පිල වැටීමට ගිය අගාධයෙන් ගොඩගත්හ.
ඕස්ට්‍රේලියානුවන්ට නැවතත් පන්දුවට පහරදීමට සිදුව තිබෙන බැවින් මෙතැන් සිට තරගය ජයගැනීම අසීරු අභියෝගයකි. කලව මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ජොස් හේසල්වුඩ්ගේ සේවයත් නොලබන ඕස්ට්‍රේලියානුවන්ට ඉතිරිව ඇත්තේ තම තමන්ගේ නම් ඉදිරියෙන් වැඩිපුර ලකුණු ටිකක් එකතු කර ගැනීම පමණි.
අද පෙරවරුවේ යැවුණු පළමු පන්දුවේදීම ලෝකේෂ් රාහුල් දුන් උඩපන්දුවක් ස්ටීවන් ස්මිත් වෙතින් ගිළිහී ගියේය. එතැන් සිට පසුපස නොබැලූ ආරම්භක පිතිකරුවා ලකුණු 84 ක් ලබාගත්තේය. ලකුණු 74 දී නායක රොහිත් ෂර්මාත් ලකුණු 10 කට දැවී ගියද ලෝකේෂ් රාහුල් සමග එක්වූ රවීන්ද්‍ර ජදේජා ඉන්දීය ඉනිමට ලකුණු 77 ක් එකතු කළේය. 9 වැනි කඩුල්ල ලෙසින් ජදේජා දැවී යන විට ඉන්දියානුවෝ ලකුණු 213 ක් ලබා සිටියහ.
මෙම අවස්ථාවේදී ඕස්ටේ්රලියානු බලාපොරොත්තු දැල්වී තිබුණු නමුත් බුම්රා සහ ආකාශ් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කර දැමූහ.
අද දිනය පුරාත්, දිගින් දිගටම, වර්ෂාවෙන් බාධා ඇතිවිය. එබැවිත් අද දිනයේදී යැවිය හැකිවූයේ ඕවර 57.5 ක් පමණි. ස්මිත්ගේ අල්ලේ වැදී ඉවතට පැනගත් රාහුල්ගේ උඩපන්දුව ඕස්ට්‍රේලියානුවන්ගේ දොරටු වසා දැම්මේය. ලෝකයේ විශිෂ්ටතම ස්ලිප් ක්‍රීඩකයකු වන ස්ටීවන් ස්මිත් මේ දක්වා ටෙස්ට් තරග 112 කදී උඩපන්දු 189 ක් රැකගෙන ඇතත් අද උදයේ ඔහුට වැරදී ගියේය.