Cricket NewsEXCLUSIVEInternational

රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන යයි

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8‍ දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙවර තරගාවලියේදී ඉන්දියාව පිට පිටම ලැබූ 7 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග අපරාජිත බව රැකගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් පන්දු 43 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 76 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

නායක මිචෙල් මාෂ් පන්දු 28 කින් ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කුල්දීප් යාදව් ලකුණු 24 කට කඩුලු දෙකක්ද, අක්සර් පටේල් සහ ජස්ප්‍රීට් බුම්රා එක් කඩුල්ල බැගින්ද බිඳහෙළීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 41 කදී හයේ පහර 8 ක් සහ හතරෙ පහර 7 ක් සමග ලකුණු 92 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී විරාට් කෝලි ලකුණු නොළබා දැවී ගියද, රිෂාබ් පාන්ට් (15) සමග ‍එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශර්මා සමත් විය. සූර්යකුමාර් යාදව් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 27 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button