Cricket NewsEXCLUSIVE

“LPL මුදල් ඔක්කොම අපිට ලැබුණා, ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ජූනි මුල එන්නේ රටේ ඩොලර් අර්බුදයට විසඳුම් අරගෙන” – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

විස්සයි-20, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මස මුල සිට ආරම්භ කිරීමට සැලසුම් යොදා තිබෙනවා.

එහෙත් එම සංචාරයට ඔවුන් සහභාගි වේද යන්න මෙරට තුළ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් එය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබු අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාවෙන් එපිටට ඇදී යෑමට වැඩි ඉඩකඩක් තිබු නමුත් ශ්‍රී ලංකාවේ පවත්වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ වන විට තහවුරු කර ඇත.

එමෙන්ම ඩොලර් අර්බුදයකට මැදිව අගාධයකට තල්ලු වෙමින් තිබෙන රටක පිටරටින් ක්‍රිකට් කණ්ඩායම් ගෙනවිත් මාස ගණන් ක්‍රිකට් ක්‍රීඩා කරවීම කෙතරම් යුක්ති සහගත දැයි තවත් පිරිසක් විමසති. මේ පැනයන්ට පිළිතුරු සොයා ගැනීම පිණිසත්, ඇතැම් අවිනිශ්චිතතාවයන් විසඳා ගැනීම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක් හා එහි විස්තර පහතින්,

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ වන විට අත්හැර දමන ලකුණු පහළවී තිබෙනවා. එරටින් ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබට සෘජු පිළිතුරක් ලබා දිය හැකිද?

ඔවුන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරය ස්ථීරයි. සැලසුම් කළ පරිදි සියලු තරග පැවැත්වෙනවා. පන්දු වාර විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක්, සහ ටෙස්ට් තරග දෙකක් ඔවුන්ගේ සංචාරයට ඇතුළත් වෙනවා. එහි වෙනසක් වෙලා නැහැ. අදාළ දිනයේ, අදාළ වේලාවේදී ඔවුන් ලංකාවට පැමිණේවි.

එහෙත් ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ තරග සංචාරය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

ඔවුන් නොපැමිණෙන බවක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් අපට කවදාවත් දැනුම් දීමක් කර නැහැ. අඩුම තරමේ පසුගිය 09 වෙනිදා රට තුළ දැඩි කලකෝලාහල සිදු වූ අවස්ථාවේදීවත් එවැනි දෙයක් ඔවුන් දැනුම් දුන්නේ නැහැ. බස් සහ මැති ඇමැති නිවාස ගි_නි බත් කරමින් රටම ඇළලී ගිය අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවට මේ සංචාරය අවලංගු කරන්න ඕන තරම් හැකියාව තිබුණා. ඔවුන් එම දිනවල එසේ නොකිරීම පිළිබඳව අපි ඔස්ට්‍රේලියාවට ස්තුතිවන්ත විය යුතුයි.

රට අර්බුදයකට පත් වෙලා තිබෙන මොහොතක විදෙස් ක්‍රිකට් කණ්ඩායම් රටට ගෙනැවිත් ක්‍රිකට් සැණකෙළි පැවැත්වීම කෙතරම් සදාචාර සම්පන්නද?

ඔවුන් එන්නේ අර්බුදයට විසඳුම අරගෙන. ඔවුන් එන්නේ රටේ ප්‍රතිරූපය නැවත ගොඩනඟමින්. ලෝකයේ ප්‍රධාන පෙළේ ඇතැම් රටවල් ශ්‍රී ලංකාව මේ වනවිට සංචාරයට නුසුදුසු රටක් බවට නම් කර තිබෙනවා. එය අප ඉස්සරහට පැමිණි කළු ලකුණක්. අපි ඒ කළු ලකුණු මකා ගෙන ඉදිරියට යා යුතුයි. රටක් ලෙස අපට හැමදාම මෙහෙම ඉන්න බැහැ. අපි යළි නැඟී සිටින බව ලෝකයට පෙන්වන්න ඕනා. ඊට තිබෙන හොඳම අවස්ථාව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මෙම ශ්‍රී ලංකා තරග සංචාරයයි. ඒ වගේම ලංකාවට මේ එන්නේ නොදියුණු රටකින් නොවේ. ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ දියුණුම රටක්. ඔවුන් අපේ රටට පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ලෝකයට යන සුබවාදී පණිවුඩය ඩොලර් කෝටි ගාණකටවත් මිලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සංචාරය වැටුණු රට ගොඩගන්න අපට ලැබුණු ආශිර්වාදයක්.

මෙම සංචාරය සංවිධානය කිරීමෙන් රටට ලැබෙන්නේ එම කීර්තිය පමණද?

නැහැ. අපිට මේ වෙලාවේ නැතිම දේ ඔවුන් අරන් එනවා. ඒ තමයි ඩොලර්. රටක් ලෙස ලෝකයෙන් ඩොලර් ඉල්ලන්න සිදු වී තිබෙන මොහොතක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පමණක් ඩොලර් මිලියන දෙකහමාරක් පමණ රටට ලැබෙනවා. සංචාරකයෝ නැතිව පාළුවට ගොස් තිබෙන හෝටල් කාමරවල දොරවල් යළි ඇරෙන්න ගන්නවා. මේ සංචාරය මාස එකහමාරක් පමණ දීර්ඝ එකක්. එම කාලය තුළදී ඔවුන් වියදම් කරන හැම ඩොලරයක්ම ලැබෙන්නේ අපේ රටට. හෝටල්වලට එසේ සුබ කලක් උදා වෙද්දි එම හෝටල් වලට අවශ්‍ය එළවළු, පලතුරු සපයන පුද්ගලයාගේ පටන් ව්‍යාපාර දියුණු වෙනවා. ක්‍රිකට් තරග නරඹන්න එන ප්‍රේක්ෂකයන්ට කඩල ගොට්ට විකුණන පුද්ගලයාගේ පටන් අතට සල්ලි ලැබෙනවා. ත්‍රීවිල් රථ රියැදුරන්ටත් ආදායමක් එනවා.

කොපමණ ඩොලර් ආදායමක් මෙම සංචාරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

ඩොලර් මිලියන දෙකහමාරක පමණ ආදායමක් බලාපොරොත්තු වෙනවා. රූපවාහිනි අයිතීන්වලින් පමණක් ඩොලර් මිලියන දෙකක පමණ ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ නිසා මේ තරග සංචාරය රටට ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. ඒ කියන්නේ කෙටි කාලයක් තුළ තරගාවලි හතරක් ලංකාවේ පැවැත්වෙනවා. අපි මේ ලැබෙන්න තිබෙන දේවල් අහිමි කරගත යුතු නැහැ. ඒ වගේම විවිධ ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාවට තරමක් හෝ මානසික සුවයක් ලබා ගැනීමටත් මේ තරගාවලියන් ඉවහල් වේවි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියේ කාලසටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළාද?

ඔව්. ඒත් අපි ඊට ප්‍රමාද වැඩි වුණා. රටේ තිබෙන විදුලි අර්බුදය හේතුවෙන් සීමිත පන්දු වාර තරගාවලි 2ට පෙර ටෙස්ට් තරග පැවැත්වීමට පුළුවන්ද කියා ඉල්ලීමක් කළා. එහෙත් ඒ වන විටත් ඔස්ට්‍රේලියාව සීමිත පන්දු වාර තරග ඉලක්ක කර පුහුණුවීම් අරඹා තිබුණා. ඒ අනුව ඔවුන් අපට කිව්වේ සලසුම් කළ පරිදි පන්දු වාර 20 – 20 තරගාවලියෙන් සංචාරය ආරම්භ කර ටෙස්ට් තරගාවලියෙන් සංචාරය නිමා කිරීමට කටයුතු යොදමු කියලයි. ඒ පිළිබඳව අපි නැවත ඉල්ලීමක් කරන්න ගියේ නැහැ.

රටේ මෙතරම් උග්‍ර බලශක්ති අර්බුදයක් තිබියදී දිවා රාත්‍රී තරග පැවැත්වීමට අවශ්‍ය විදුලි බලය ලබා ගන්නේ කෙසේද ?

අපි ලංකා විදුලි බල මණ්ඩලය සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් අපට එකඟ වුණා ජෙනරේටර් ලබා දී විදුලි බලය සැපයීමට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රිජ්වේ ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන දෙක ක මුදලක් පසුගියදා ලබා දී තිබුණා. එහි වටිනාකම රුපියල් වලින් කෝටි 71 ක් වෙනවා. මෙතරම් මුදලක් ලබා දෙන්න තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොහොසත් ද?

රටේ පොහොසත්ම ක්‍රීඩා ආයතනය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. හැබැයි එම මුදල් ලබා දීම පොහොසත්කමට එහා ගිය පරිත්‍යාගයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ අදහසක් මත තමයි එම කටයුතු සිදු වුණේ. මෙවැනි පරිත්‍යාගයන් අපි ඕන තරම් කරනවා. ඒ වගේම රටේ වෙනත් ක්‍රීඩා සංගම් සහ ආයතනවලටත් අවශ්‍ය මූල්‍ය සහයෝගයන් සපයනවා. පැරාලිම්පික් ශූරයන් අගයමින් ඔවුන්ටත් රුපියල් කෝටියකට වඩා මුදල් තිළිණ ලබා දුන්නා.

LPL තරගාවලිය ඔස්සේ හිමිවිය යුතු සියලු මුදල් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබෙනවා ද?

ඔව්. ලෝකයේ පැවැති විවිධ තත්ත්වයන් මත මුදල් ලැබීමේ යම් ප්‍රමාදයක් තිබුණා. ඒත් දැන් ඒ සියලු මුදල් ලැබී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් කොපමණ ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වුණා ද?

එම මුදල ඩොලර් මිලියන 10ක් තරම් ඉහළ මුදලක්. ඒ කාලයේ වටිනාකම අනුව රුපියල් කෝටි 200කට වැඩියි. එහි සම්පූර්ණ ගෞරවය ඉන්දියාවට හිමි විය යුතුයි. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ්ට ද අපි එහිදී ස්තුතිය පුද කළ යුතුයි. ඔවුන් ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් නම දෙනෙක්ම නිරෝධායනයට ලක්කර තිබියදීත් සංචාරය අවලංගු නොකර සියලු තරග නිමවන තෙක් ඉන්දියාව ලංකාවේ රැඳී සිටියා. ඊට පෙර ඔවුන් අතර මැදදී ලංකාවෙන් ගියානම් අපිට ඩොලර් මිලියන හතරක් අහිමි වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර තිබෙන මිත්‍රත්වයත් බොහෝ සෙයින් ඉවහල් වුණා. ශම්මි සිල්වා මහතා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ මිත්‍රත්වය වැඩි කරගෙන තිබෙනවා.

රටේ ක්‍රිකට් දැන් පැමිණ තිබෙන තත්ත්වය ගැන ඔබ තෘප්තිමත්ද ?

නොයෙක් අභියෝග මැද අපි යම් තැනකට අද පැමිණ තිබෙනවා. ජාතික කණ්ඩායම සාර්ථකත්වයට පැමිණ තිබෙනවා. ඉතා ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කීප දෙනෙක් අපට ඉන්නවා. ඒ වගේම යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අනාගතය පිළිබඳව සුබ පෙර නිමිති පහළ කර තිබෙනවා. ජාතික කණ්ඩායමට ඕනෑම අවස්ථාවක යොදා ගැනීමට සමත් ක්‍රීඩකයන් පස් හය දෙනෙක්ම “ඒ” කණ්ඩායමේ සිටිනවා.

– විශේෂ ස්තුතිය කුෂාන් සුබසිංහ මහතාට සහ දිවයින පුවත්පතට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7