Cricket NewsEXCLUSIVEMatch Review

චන්දිමාල්, අසලංක සහ පැතුම්ගේ සුපිරි ප්‍රහාරය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් උරුම කර දෙයි.!

සිය ජයග්‍රාහී මානසිකත්වය සමග සුපුරුදු රිද්මය දිගටම පවත්වාගත් පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට සමත් විය.

තවත් පන්දු 09 ක් ඉතිරිව තිබියදී ලබාගත් මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 52 ක් දක්වා ඉහළට ගෙන යාමටද සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ අරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 71 කදී ලකුණු 75 ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 10 කින් සිය ඉනිම සරසමිනි.

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පිළිවෙළින් ලකුණු 40 ක්, 41 ක් සහ 66 ක් ලෙසින් සම්බන්ධතා පැවැත්වූ පැතුම් නිස්සංක දුර්වල පන්දුව දුටුතැනම එය හතරේ සීමාවට හරවා යැවීය.

නිස්සංකගේ දැවී යාමෙන් පසුව එම කාර්යය අතට ගත් දිනේෂ් චන්දිමාල්, තවමත් එක්දින තරග 8 ක අත්දැකීම් පමණක් ඇති චරිත් අසලංක සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය පෙනෙන මානයට කැඳවාගෙන ආවේය.

චන්දිමාල් ලකුණු 75කට දැවී යන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 21 කි.

ඕවර 40 ක් අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් භාගයේ ප්‍රහාරය වෙනුවෙන් කඩුලු අත තබාගෙන සිටියේය.

ජය පෙනි පෙනී කඩුලු දෙකක් ඇදවැටුණ නමුත් අපහසුවකින් තොරවම ජයටැඹ පසු කිරීමට අවශ්‍ය මෙහෙවර චන්දිමාල් සහ අසලංක දෙදෙනා කර තිබිණ.

පැතුම් නිස්සංක පිටියේ සිටියදී තැන්පත් පිතිහරඹයක නිරත වූ චන්දිමාල්ගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය වූයේ 62.06 කි. එහෙත් නිස්සංක දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 80 දක්වා වැඩිකරගත් හිටපු ශ්‍රී ලංකා නායකයා, යොවුන් ක්‍රීඩක චරිත් අසලංකව මනාව හසුරුවාගනිමින් සම්බන්ධතාව දිගු කළේය.

සිම්බාබ්වේ පිතිකරුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 296 ක් ලබාගත්හ. රෙගීස් චකබ්වා (72) සහ ෂෝන් විලියම්ස් (100) දෙදෙනා සිම්බාබ්වේ පිල ලකුණු 296 ක් කරා කැඳවාගෙන ගියහ.

40 වැනි ඕවරය නිමා වන විට ෂෝන් විලියම්ස් (නොදැවී 67) සහ සිකන්දර් රාසා (නොදැවී 07) කඩුල්ලේ රැඳී සිටියේ මුලු ලකුණු සංඛ්‍යාව 280 සීමාවෙන් ඔබ්බට ගෙන යාමේ අරමුණ ඇතිවය.

අවසන් ඕවර 10 දී පන්දු 60 කින් ලකුණු 69 ක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ තරගයෙන් ජයගැනීමට නම් ඕවරයකදී ලකුණු 6 ක පමණ වේගයක් රඳවාගන්නා ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කළහ.

සිය පස්වැනි එක්දින ශතකය හතරේ පහර 9 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කළ විලියම්ස්, 48 වැනි ඕවරයේදී චාමික කරුණාරත්නට ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. පා ඉන්නට පිටතින් පතිත වූ පන්දුව පිත්තේ නොවැදුණානම් වයිඞ් පන්දුවක් වීමටත් තිබිණ.

වමත්කාරයා වන ෂෝන් විලියම්ස්, සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බවට පත්විය.

ආරම්භක පිතිකරුවා වූ රෙගීස් චකබ්වා සමගින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විලියම්ස්, ඉන් අනතුරුව, වෙස්ලි මදව්රේ සමගින් 4 වැනි කඩුල්ලට ලකුණු 42 ක්ද එකතු කළේය.

සිකන්දර් රාසා සමගින් තවත් ලකුණු 46 ක සම්බන්ධතාවක් පැවැත්වූ විලියම්ස් දැවී යන විට සිම්බාබ්වේ කණ්ඩායම 280 සීමාව ඉක්මවා තිබිණ.

ශ්‍රී ලංකා පිලෙන් උඩපන්දු දෙකක් ගිළීහී ගිය නමුත් දෙවැන්න එතරම් හානිදායක නොවූයේ ලකුණු 4 කට පසුව වැන්ඩසේගේම පන්දුවකින් තාකුඞ්ෂේ කයිතානෝ දැවී ගිය බැවිනි.

එහෙත් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ රෙගීස් චකබ්වා දුන් උඩපන්දුව චරිත් අසලංකගෙන් ගිළිහී යාමෙන් නිසි ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා කලබලයකින් තොරවම ශතකය කරා පියමං කළද අවසානයේදී විනිසුරු තීරණ විමසීමේ ආධාරයෙන් දවාගැනීමට කුසල් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ සමත් වූහ.

චකබ්වාගේ පන්දු 81 ක ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

මුල් ඕවර 10 නිමාවන විට සිම්බාබ්වේ පිලේ ලකුණු සංඛ්‍යාව 47 ක් විය. එතැන් සිට ලකුණු වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී තාකුඞ්ෂේ කයිතානෝ ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක් එක් කිරීමෙන් පසුවය. මෙම ලකුණු 80 එකතු කිරීම සඳහා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 88 කට පමණි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන තරඟය එළඹෙන 18 වන දා පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7