Cricket NewsEXCLUSIVETrending Article

“මහේන්ද්‍ර සිං දෝනිගේ අත්දැකීම්, විශ්වාසය සහ නිවැරදි මග පෙන්වීම යටතේ ගොඩනැගෙන චෙන්නායි අනාගත ආයෝජනය” – මතිෂ පතිරණ

මහේන්ද්‍ර සිං දෝනි, එහෙමත් නැත්නම් MSD කියන්නේ ඉන්දියාවේ ක්‍රිකට් පුරාවෘත්තයක්.

සචින් තෙන්දුල්කාර්ගෙන් පස්සේ ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයෙක් “දේවත්වයට” නැගුවා නම් ඒ දෝනි. දෝනි වෙනුවෙන් ඉන්දියාවේ චිත්‍රපට හැදුනා. දෝනි වෙනුවෙන් සිංදු හැදුනා. දෝනි වෙනුවෙන් දේවාල හැදුනා. ඒ සියලූම ගෞරව දෝනිට ලැබුනේ ක්‍රීඩා කරද්දිමයි.

MSD මේ තරම් ඉන්දියාවේ ආදරයට, ගෞරවයට ලක් වෙන්නේ ඔහු වර්ල්ඩ් කප් එකක් දිනපු නායකයෙක් වීම නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාව ක්‍රිකට් හුස්ම ගන්න, ක්‍රිකට් ලේ වලට බද්ධ වෙච්ච රටක්. ඉන්දියාව 2007 ලෝක කුසලානය පරාද වුනේ බිංදුවටම වැටිලා.

“ලෙජන්ඩ්” කුලකයේ ජ්‍යේෂ්ඨයන් ක්‍රීඩාවෙන් සමුගනිද්දි, කෝටි ගානක් මිනිස්සු ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්න ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව භාර වුනේ තරුණ මහේන්ද්‍ර සිං දෝනිට. දෝනි ඒ රාජකාරිය දේවකාරියක් වගේ ඉටු කරනවා. අවසානයේ දෝනි අහස් නිල් පාට ඉන්දීය ක්‍රිකට් ජර්සිය ගලවන්නේ ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගලා. දිනන්න පුලුවන් හැම කුසලානයක්ම දිනලා.

ඉන්දියාව වෙනුවෙන් තරග දිනවන සුපිරි ක්‍රීඩක‍යන්ගෙන් යුතු තරුණ පරම්පරාවක් ගොඩනගලා. මහේන්ද්‍ර සිං දෝනි අතිදක්ෂ කඩුලු රකින්නෙක්. ලොව බිහිවු සුපිරිතම තරග අවසන් කරන්නෙක්. ඒ සියල්ලටම වඩා ඔහු විශිෂ්ඨතම නායකයෙක්.

දකුණු ඉන්දියාවේ මිනිස්සු ඔහු හඳුන්වන්නේ “තලා” කියලා. “තලා” කියන වචනයෙන් අදහස් වෙන්නේ ‘නායකයා’. දෝනි ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩකයන් හසුරවනවා. ඔවුන් ගොඩනගනවා. ඕනම පීඩනයකදී සංසුන්ව, නිහඩව ඉන්න මේ නායකයා, තමන්ගේ ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබා ගැනීමේ කලාව හොදින් ප්‍රගුණ කරලා තියෙනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලය ගත කරමින් IPL තරගාවලිය ක්‍රීඩා කරමින් ඉන්නවා.
තරගාවලියේ ඔහු නායකත්වය දෙන CSK කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනාට ශ්‍රී ලංකා ක්‍රීඩකයො දෙදෙනෙක් තෝරගෙන.

ශ්‍රී ලංකාවේ හිටපු නායකයො, පතාක යෝදයොත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් වල ප්‍රධාන තනතුරු දරනවා.
හැබැයි ඒ කණ්ඩායම් වල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්තාව නොලැබෙද්දි, දෝනිගේ කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයො හතර දෙනාගේ කෝටා එක ඇතුලේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්තාව ලැබෙනවා.

අමතක කරන්න එපා.

ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට අපහසුම කණ්ඩායම චෙන්නායි කණ්ඩායම. දේශපාලනික හේතුන් නිසා, රසිකයන්ගේ පීඩනයන් නිසා වරක් චෙන්නායි ක්‍රීඩාංගන පවා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තහනම් වුනා. ඒ පීඩන සියල්ල නොතකා, හරිම සංසුන් මහේන්ද්‍ර සිං දෝනී තමන්ගේ කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්තාව ලබා දෙනවා.

ඉන් එක් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමේ පවා ස්ථාවර ස්ථානයක් නැති, වයස අවුරුදු 20ක පොඩි කොල්ලෙක්, මතීෂ පතිරණ.
දෝනි මේ කොල්ලට අවස්තාව දෙන්නෙ, වෙනත් රටක සුපිරි වේග පන්දු යවන්නෙක් පහසුවෙන්ම මිලට අරන් ක්‍රීඩා කරවන්න පුලුවන් පසුබිමක.

අපි නොදකින, සංගා – මහේල ලා නොදකින, ලාංකේය තේරිම් කමිටුව නොදකින විශේෂත්වයක් මතීෂගෙන් දෝනි දකිනවා ඇති. ඒ විතරක් නෙවෙයි, තීරණාත්මක තරගයක අවසන් පන්දු වාර වලට දෝනිගේ තේරීම මතීෂ ..

දෝනිගේ තේරීමට සාධාරණයක් කරලා තරගය දිනවන්නත් මතීෂ සමත් වෙනවා.

IPL කියන්නේ ලෝකයේ හැම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙම සිහිනය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන හැම රටකම සුපිරි ක්‍රීඩකයො වෙන්දේසියට ඉදිරිපත් වෙලා, සුපිරිම ක්‍රීඩකයන් පමණක් පෙරිලා ඉතිරි වෙන තැන. මහේන්ද්‍ර සිං දෝනි කියන්නේ නායකයෙක් විදියට දිනන්න පුලුවන් හැම ක්‍රිකට් තරගාවලියක්ම දිනපු නායකයා. IPLතරගාවලි හතරක් දිනපු නායකයා.
කොටින්ම ක්‍රිකට් කාලා, හුස්ම ගන්න, ඇගේ ක්‍රිකට් දුවන ක්‍රීඩකයෙක්.

ඒ දෝනි, ඒ IPL තරගාවලියට මතීෂ තෝරගන්නේ වෙන කිසිවෙකුත් නොදකින විශේෂත්වයක් ඔහුගෙන් දැකපු නිසා.
ඒ වගේම මේ විශිෂ්ඨ නායකයා, තමන් විශ්වාස කරන බව අවුරුදු 20ක පොඩි කොල්ලෙකුට ඒත්තු ගැන්නුවම, ඒ කොල්ලට එන ආත්ම විශ්වාසය, ගැම්ම සීමාවක් නෑ.

ඉතින් ඔහු අවසන් පන්දු වාර වල හොදින්ම පන්දු යැවීම ගැනත් සැකයක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු බිහි වෙන්න වැදගත් වෙන්නෙත් ආත්ම විශ්වාසය, ගැම්ම. තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලය ක්‍රීඩා කරමින් ඉන්න මේ විශිෂ්ඨ නායකයා ගොඩනගමින් ඉන්නේ CSK කණ්ඩායමේ අනාගතය විතරක් නෙවෙයි.මේ ගොඩනැගෙමින් තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙත් අනාගතය.

– ඉරේෂාන් සිරිවර්ධන –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
9
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7