Cricket NewsEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League සිව්දින තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් දඹුල්ල සහ ගාල්ල අද සටනට.!

බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල ක්‍රියාත්මක වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගය අද (මාර්තු 02) සංගීත් කුරේගේ නායකත්වයෙන් යුත් ගෝල් කණ්ඩායමත්, මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර මෙම තරගය පුරා දින 4 ක් හෙවත් ලබන ඉරිදා (05 ) තෙක් ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සිව්දින තරගාවලිය මෙවර පවත්වනු ලබන්නේ දෙවැනි වතාවට වේ. නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ මෙතෙක් පැවැති සිව්දින, එක්දින සහ විස්සයි-20 යන තරග අංශ 3 දීම ජැෆ්නා කණ්ඩායම අවම තරමින් අවසන් මහ තරග වරම හෝ උදා කර ගැනීමට සමත්ව තිබෙන නමුත්, මෙවර තරගාවලියේදී එතෙක් පවත්වාගෙන ආධිපත්‍ය මෙවර තරගාවලියේදී බිඳ වැටීම කැපී පෙනෙයි. ඒ අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම හමුවේ ලද ලකුණු 132 ක පරාජය හේතුවෙනි. එසේම දඹුල්ල කණ්ඩායමක් එම තරග ඉතිහාසයේ ඔ්නෑම තරග අංශයක් යටතේ අවසන් මහ තරග වරමක් උදා කරගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය සනිටුහන් වේ.

ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ තරග 4 කට ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පූර්ණ ජයග්‍රහණය 2 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරග වරම ලබද්දී ගෝල් කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහණ 2 ක් සමගින් ප්‍රසාද ලකුණු 72.915 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට තේරී පත්වීය. අනතුරුව පැවැති අවසන් පූර්ව තරග වලදී ගෝල් කණ්ඩායම විසින් කැන්ඩි කණ්ඩායමද, දඹුල්ල විසින් ජැෆ්නා කණ්ඩායමද පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්හ.

තරගාවලිය ආරම්භයේදී දෙපිළේම ජාතික තලයේ ක්‍රීඩකයින් ගණනාවක් ක්‍රීඩා කළත් මේ වන විටත් නවසීලන්ත තරග සංචාරය සඳහා පිටත්ව ගිය කණ්ඩායමට ක්‍රීඩකයින් කීප දෙනෙකුම ඇතුළත්ව සිටින බැවින් නායකත්වයේ සිට සියල්ල මේ වන විට සංශෝධනයට ලක්ව තිබේ. එහිදී ගෝල් පිලේ නායකයා ලෙසින් කටයුතු කරන ලද රමේෂ් මෙන්ඩිස් මේ වන විටත් නවසීලන්තය බලා ගොස් සිටින බැවින් එහි වගකීම පැවැරී ඇත්තේ දේශීය තරග බිමේ ප්‍රබල පිතිකරුවකු ලෙසින් සැලකෙන සංගීත් කුරේ වෙතය.

මූලික වටය යටතේ දේපිළම පූර්ණ තරග ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට සමත්ව සිටීම නිසා හෙට තරගයද කරට කර සටනක් ලෙස අපේක්ෂා කළ හැක. තරගාවලිය ආරම්භයේදී ගෝල් පිල ඉතා ඉහළ දක්ෂතාවයන් සමඟින් ක්‍රීඩා කරන ලද නමුත් දඹුල්ල කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් ගෝල් මුණ ගැසුණු පළමු තරගයේදීම පූර්ණ තරග පරාජයකට මුහුණ දුන්නේය. එහෙත් අනතුරුව පැවැති තරග වලදී ඔවුන් ඉතා හොඳින් දක්ෂතා අතරට පැමි‌ණීම කැපී පෙනෙයි.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින දඹුල්ල නායක මිනෝද් භානුක පවා සඳහන් කර සිටියේ පළමු තරගයේදී ගෝල් පිල හමුවේ පරාජයට පත් වුවත්, එය පාඩමක් ලෙස ගනිමින් ඉතිරි තරග වලදී ඉතා හොදින් දක්ෂතා අතරට පැමිණිමට සමත්ව සිටින බව සඳහන් කර සිටියේය.

“පළමු තරයේදී අපි ගාල්ල හමුවේ පරාජයට පත් වුවත් ඊළඟ තරග 3 දීම පිතිකරුවන් වගේම පන්දු යවන්නන් හොඳින් දක්ෂතා අතරට ඇවිල්ලා හොඳ තරගයක් දිය හැකි කණ්ඩායමක් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අපි දන්නවා ප්‍රතිවාදී පිලේ හොද පිතිකරුවන් රැසක් සිටිනවා. ඔවුන් හැම තරගයකදීම වගේ ලකුණු 400, 500 සහ 600 සීමාවන් ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වෙලා තියෙනවා. අපි බලමු. මේ තරගය හොද තරගයක් වෙයි” යැයි භානුක සඳහන් කර සිටියි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කරනු ලබන අතර එය තම කණඩායමට මෙන්ම තරගය නැරමීමට පැමිණෙන සියල්ලෝටම හොඳ ආශ්වාදයක් ගෙන දෙන්නක් බවද දඹුලු නායකයා සදහන් කර සිටියේය. “වනිඳුගේ කැප කිරීම සඳහ උනන්දුව අපිට වගේම ක්‍රිකට් නරඹන හැම දෙනාමට වටිනාකමක් ලබා දෙනවා. මොකද එයා කරන ඒ කැප කිරීම කණ්ඩායමට ලොකු දෙයක්. ඒ වගේ ලෝකෙ අංක 1 ඉන්න පන්දු යවන්නෙක් කන්ඩායමේ ඉන්නවා කියන්නේ අපිට ඒක ලොකු හයියක්” යැයි වනිඳු හසරංගගේ සේවය තම කණ්ඩායමට හිමිවීම පිළිබඳව භානුක අදහස් දක්වා සිටියි.

මේ අතර හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටින ප්‍රතිවාදී ගෝල් නායක සංගීත් කුරේ සඳහන් කර සිටින්නේ, වනිදු හසරංග තම කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම අභියෝගයක් නමුත්, එක් ක්‍රීඩකයකු ඉලක්ක කිරීමට වඩා ප්‍රතිවාදී කන්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා පිළිබඳවම අවධානය යොමු කර තිබෙන බව සඳහන් කර සිටියේය.

“වනිඳු කියන්නේ ඇත්තටම අපිට අභියෝගයක් විදියට දකිනවා වගේම අපේම තරම කොහොමද කියා බලා ගන්න පුලුවන් තරගයක් කියලා අපි ඒක සැලසුම් කරලා තියෙන්නේ. අපේ කන්ඩායමට වඩා වටින්නේ තනි පුද්ගලයෙක් ගැන හිතනවාට වඩා ප්‍රතිවාදී පිලේ 11 දෙනා ගැනම අවධානය යොමු කරන එක. අපි කණ්ඩායමක් විදියට ඒ විදියට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ” යැයි සංගීත් සදහන් කර සිටියේය.

තමන් සතුව සිටි ප්‍රධාන ක්‍රීඩකයින්ගේ සේවය කණ්ඩායමට අහිමි වුවද ඒ සඳහා පැමිණි තරුණ ක්‍රීඩකයින් එම අඩුපාඩු ඉතා හොඳින් පිරිමසා දැමීමට සමත්වීම තමන්ට ලොකු අස්වැසිල්ලක් ගෙන දී ති‌බෙන බවද ගෝල් නායකයා සඳහන් කර සිටියේය.

“අලුතින් ආපු ක්‍රීඩකයින් තමයි හොඳටම කළේ. මං හිතන්නේ සොහාන් ඩි ලිවේරා සහ පැතුම් කුමාර. ඇත්තටම අපි හිතනවා අපිට හොඳ සංකලනයකින් යුත් තරුණ කණ්ඩායමක් ඉන්නවා. අපි ආදේශ කරපු හැම ක්‍රීඩකයින්ම ඔවුන්ගේ වගකීම ඉතා හොදින් ඉටු කළා” යනුවෙන් සංගීත් කුරේ සඳහන් කර සිටියි.

මෙතෙක් තරගාවලියේ දක්වන ලද දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී දඹුලු නායක මිනෝද් භානුක ඉදිරියෙන්ම සිටින්නේ මෙවර තරග වාරයේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි තැන ගනිමිනි. ඔහු ඉනිම 8 කදී රැස් කර ඇති ලකුනු සංඛ්‍යාව 395 කි. ඔහුට අමතරව ගෝල් පිලේ ලක්ෂාන් එදිරිසිංහ මෙන්ම නායක සංගීත් කුරේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනි සහ 9 වැනි ස්ථාන වල පසුවෙති.

පන්දු යවන්නන් අතර ගෝල් කණ්ඩායමේ කවිශ්ක අංජුල ඉනිම 7 කද කඩුලු 17 ක්ද මොහොමඩ් ශිරාස් ඉනිම 7 කදී කඩුලු 14 ක්ද සහ අසංක මනෝජ් ඉනිම 9 කදී කඩුලු 12 ක් ලබා පිළිවෙළින් දෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7