Cricket NewsEXCLUSIVE

මුල් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා කඩුලු ඉක්මනින් බිඳ වැටීමේ ප්‍රශ්නයක් ඇති බව දසුන් ශානක කියයි.!

පළමු පන්දුවාර කිහිපයේදී කඩුලු බිඳ වැටීම අවම කරගැනීමට හැකි වුවහොත් නිලකුණු පන්දු ප්‍රමාණය අඩුකර ගැනීමටද හැකියාව ඇති බව අද (23) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.

මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවීයන අවස්ථා වලදී මැද පෙළ පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ලවන බවත් නිලකුණු පන්දු වැඩි වශයෙන් වාර්තා වීමට එයද හේතුවන බව ශානක පැවසීය.

එමෙන්ම ඉන්දීය සංචාරය සඳහා නම්කළ සංචිතයේ ක්‍රීඩකයන් තිදෙනෙකුටම හෙට පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇති බැවින් කණ්ඩායම සමබර කරගැනීමේ ගැටලුවකට නායක දසුන් ශානක මුහුණ දී සිටී.

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී අංක එකට පත්ව සිට මේ වනවිට සිව්වැනි ස්ථානය දක්වා පහත වැටී සිටින වනිඳු හසරංගට ඊයේ (22) කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයක් නැවතත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු නැවතත් නිරෝධායනයට ලක්කර ඇත. ශ්‍රී ලංකා සංචිතය සමගින් ඉන්දියාවට බලා පිටත්ව යෑමට අවස්ථාව හිමිනොවූ වනිඳුට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැඳී සිටීමට සිදුවනු ඇත.

වනිඳුට පළමු විස්සයි20 තරගය අහිමිවුවද ඉතිරි තරග දෙක සඳහා ඔහුව සම්බන්ධ කර ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවන බවද දසුන් පැවසීය.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පස්වැනි සහ අවසන් විස්සයි20 තරගයේදී ආබාධයකට ලක්ව ඇති ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ද හෙට තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතව ඇත.

කුසල් මෙන්ඩිස් සහ මහේෂ් තීක්ෂණ හෙට පැවැත්වෙන පළමු තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද පිළිබඳව කළමණාකාරීත්වය තවමත් තීරණයක් ගෙන නොමැති අතර හෙට හවස්වන වනවිට ඔවුන් පිළිබඳව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවද දසුන් මාධ්‍ය හමුවේදී පැවසීය.

කුසල් මෙන්ඩිස්ට හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිනොවුවන හොත් පැතුම් නිස්සංක සමගින් ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව ධනුෂ්ක ගුණතිලකට හෝ කමිල් මිෂාරට හිමිවේ. මිෂාරට කඩුලු රැකීමේ හැකියාවද ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අවසන් විස්සයි-20 තරගයේදී මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ කමිල් මිෂාරට සහ ජනිත් ලියනගේට හෙට පැවැත්වෙන තරගයේදීද අවස්ථාවක් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

එසේ වුවහොත් අවසන් 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාව ධනුෂ්ක ගුණතිලක හෝ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගෙන් එක් අයකුට පමණක් හිමිවේ.

යම් හෙයකින් කුසල් මෙන්ඩිස් සහ මහේෂ් තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්වයේ පසුවුවහොත් ජයග්‍රාහි අවසන් විස්සයි20 තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම යොදා ගැනීමට බොහෝ ඉඩ ඇත.

මහේෂ් තීක්ෂණ නිසි ශාරීරික යෝග්‍යතාවයෙන් පසුනොවුනහොත් පාදඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේට හෝ තවමත් ජාත්‍යන්තර වරම් හිමිකර නොගත් පිට දඟපන්දු යවන අෂීන් ඩැනියල්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ.

ICC විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී තවදුරටත් පහත වැටීමේ අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (24 වැනිදා) ආරම්භවන ඉන්දීය සංචාරය වඩාත් තීරණාත්මක වනු ඇත. තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට ලක්නව්හිදී පැවැත්වේ.

මේ වනවිට විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 10 වන ස්ථානයේ සිටින බංග්ලාදේශ කණ්ඩායමට වඩා දශම ගණනකින් (0.281) ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථානයෙන් තවදුරටත් පහත වැටීම වලක්වා ගැනීමට නම් තරග 3 න් එක් තරගයක්වත් ජය ගත යුතුව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලි දෙකම 3-0 ක් ලෙස ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ ඉහළ මානසිකත්වයකින් පසුවෙන අතර එය දිගටම රඳවා ගැනීමට ඔවුන් උත්සහ කරති.

විරාට් කෝලි, රිෂාබ් පාන්ට් සහ ෂර්දුල් ඨාකූර් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී විවේක ගන්වා ඇත. ඒ අනුව රුතුරාජ් ගයික්වාඩ් සහ ශ්‍රියාස් අයියර් වැනි ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ඔවුන් දෙදෙනා අසාර්ථක වූ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

ජස්ප්‍රිත් බුම්රා ද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියට නැවත පැමිණ සිටින අතර පන්දු යැවීමේ ප්‍රහාරය තවත් ශක්තිමත් වනු ඇත. බුවනේෂ්වර් කුමාර් කොදෙව්වන්ට එරෙහි තරඟාවලියේදී තමාට ඇති හැකියාව පෙන්නුම් කළ අතර එය ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති අවසන් විස්සයි20 තරගාවලියේදී ආබාධවලට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක දීපක් චාහර් සහ පිතිකරු සූර්යකුමාර් යාදව්ගේ ආබාධ තවමත් සුවවී නොමැති බැවින් ඔවුන්ව ඉන්දීය සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් ඔවුන් දෙදෙනා වෙනුවට වෙනත් කිසිදු ක්‍රීඩකයකු ඉන්දීය සංචිතයට ආදේශ කර නොමැත.

ඉන්දීය විස්සයි-20 සංචිතය
රොහිත් ෂර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා (උපනායක), රුතුරාජ් ගයික්වාඩ්, ශ්‍රෙයාස් අයියර්, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, වෙන්කටේෂ් අයියර්, දීපක් හූඩා, රවින්ද්‍ර ජදේජා, යුස්වේන්ද්‍ර චාහල්, රවී බිෂ්නෝයි, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, බුවනේෂ්වර් කුමාර්, හර්ෂල් පතෙල්, ආවේෂ් ඛාන්.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, අෂීන් ඩැනියල්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7