Cricket NewsEXCLUSIVEMatch Review

ක්‍රිකට් පිටියේ විසේකරුවන් වන කොදෙව්වන්ව පරාජය කරමින් දිමුත් ප්‍රමුඛ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් – ලසිත් සහ රමේෂ් තරඟයේ පාලනය සියතට ගනී.!

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක් දවා ගැනීම පමණි.

එය අත්පත් කර ගැනීමේදී පස්වැනි දිනය කොදෙව්වන්ට පමණක්ම එරෙහි සටනක් නොවූවේය.ඒ ‘වැස්ස වළාහක දෙවියන්’ සමඟද ශ්‍රී ලංකාවට ඔට්ටුවීමට සිදු වීම හේතුවෙනි.

ඒ සියල්ල පරදවා ‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187 ක අති විශිෂ්ඨ ජයක් අද (25) අත්කර ගත්තේය.

සැබැවින්ම එය ආශ්චර්යයකි.

කොයි මොහොතේ හෝ පහළට ඇද හැළීමට මාන බලමින් උදෑසන සිටම වැහි වළාකුළින් බරව තිබූ ගාල්ල අහස් කුස, ලසිත් ඇඹුල්දෙණිය විසින් කොදෙව් ඉනිමේ අවසන් පිතිකරුවා වුණු ෂෙනන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගන්නා තෙක්ම කාරුණික වූවේය.

කෙසේ වෙතත් ජයග්‍රහණය සමරා ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට ඒමට මත්තෙන්ම ගිගුරුම් සහිත වර්ෂාව ක්‍රීඩාංගණයට ඇද හැළුණේ ‘වැස්ස වළාහක දෙවියන්ද’ දිමුත් ඇතුළු පිරිවරේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වූ බවට ඉඟි ලබා දෙමිනි.

කෘමා බෝනාර් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාද කළ කොදෙව් ඉනිමේ ප්‍රධානියා විය.

පන්දු 173 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බෝනාර්, ලසිත් ඇඹුල්දෙණියගේ පස්වැනි කඩුල්ල වෙමින් ගේබ්‍රියල් දැවී යන විටත් ටෙස්ට් තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය (ලකුණු 68) සම්පූර්ණ කර ගෙන සිටියේය.

ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානයට පැමිණීමට මාවත විවර කර දුන් මෙම ජයග්‍රහණයේදී කොදෙව් දෙවැනි ඉනිමද ලකුණු 160 දී නිමාවට පත්විය.

පස්වැනි දිනට අවතීර්ණ වද්දී කඩුලු 6 ක් දවා ගෙන සිටියද අවසන් කඩුලු 4 දවා ගැනීම සදහා පන්දුවාර 53.3 ක් යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදුවිය.

තරග ආරම්භයේ සිට වඩාත් පරෙස්සම් සහගතව පන්දුවට පහර දුන් බෝනාර් සහ ජොෂුවා දා සිල්වා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් එක් කළහ.

ඒ අතරතුර දවා ගැනීම සඳහා මොවුන් දෙපළම අවස්ථාව බැගින් ලබා දුන් නමුත් පැතුම් නිස්සංක අතින් එම වටිනා උඩ පන්දු ගිලිහී ගියේය.

කොදෙව් දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ට අද දිනයේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. ජොෂුවා ද සිල්වා ලබා දුන් උඩ පන්දුව ලෙග් ස්ලිප් ස්ථානයේ සිටි පැතුම් නිස්සංක අතින් ගිලිහී යෑම නිසා පළමු වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට තිබූ හොඳම අවස්ථාව අහිමි වූවේය.

එපමණක් නොව ලකුණු 23 දී නිමාවට පත්වන්නට තිබූ ජොෂුවාගේ ඉනිම තෙවැනි අර්ධ ශතකය දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබීමත් සහ තරගයේ ජයග්‍රහණය පමා වීමටත් හේතුකාරක විය.

දිනයේ දැවී ගිය කඩුලු 4 න් 3 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී කොදෙව් පිලේ දැවී ගිය කඩුලු 20 න් 19 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගනිද්දී ඉන් 18 ක් ප්‍රධානම දඟ පන්දු යවන්නන් තිදෙනා වන සහ මෙන්ඩිස් (7), ඇඹුල්දෙණිය (6) සහ ජයවික්‍රම (5) බෙදා ගත්හ.

එහෙත් දිවා ආහාරයට මිනිත්තු 25 කට පමණ පෙර ජොෂුවාව දවා ගැනීමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිරි කඩුලු 3 ම හෝරාවකට ආසන්න කාලයක් ඇතුළතදී දවා ගත්හ.

‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටියි.

දෙරට අතර ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7