ඉන්දියාවට එරෙහිව, ශ්‍රි ලංකා වේග පන්දුවෙ වගකීම නවකයන් දෙදෙනෙක් කරමත පැටවේ.
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (2) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
දෙපිල අතර විස්සයි20 තරගාවලියට එක් නොවූ එක්දින නායක රෝහිත් ශර්මා, සුපිරි පිතිකරු විරාට් කෝලි, ශ්‍රේයාස් අයියර් සහ ලෝකේෂ් රාහුල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් මේ තරගාවලියේදී ඉන්දීය පිලට එක්වන අතර, නව නායකයා ලෙස පත්වූ චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට විශාලම අභියෝගය වී ඇත්තේ අසනීප සහ ආබාධ තත්ත්වයන් හේතුවෙන් පළපුරුදු වේග පන්දු යවන්නන් රැසක් අහිමි වීමය. මේ නිසා නවක වේග පන්දු යවන්නන් සමඟින් පිටියට පිවිසීමට ශ්‍රී ලංකා පිලට සිදුව ඇත.
ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලිය ආරම්භයට පෙර වේග පන්දු යවන දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් මතත්, නුවන් තුෂාර පුහුණුවීම් අතරතුර ඇඟිල්ලක ආබාධයකට ලක්වීමත් හේතුවෙන් සංචිතයෙන් ඉවත් වූහ. මතීෂ පතිරණ තෙවැනි විස්සයි20 තරගයේ පන්දු රකිමින් සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ අතර, ඩිල්ෂාන් මධුෂංක පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ගොදුරු විය. ළහිරු කුමාර ද ආබාධ තත්ත්වයකින් පසුවන බැවින් මේ සංචිතවලට තේරීම් සඳහා සලකා බලා නැත.
එක්දින තරගාවලියට මුලින්ම නම් කළ සංචිතයට මධුසංඛ, මතීෂ සහ අසිත ප්‍රනාන්දු ඇතුළත් වූ අතර, එක්දින තරග 7කට පමණක් ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු අවසන් වරට මේ වසරේ පෙබරවාරි මස පල්ලෙකැලේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්දින තරගයකට එක් විය. මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පමණක් වේග පන්දු යවන්නකු ලෙස සංචිතයේ සිටී. ආබාධයට ලක්වූ මතීෂ සහ මධුසංඛ වෙනුවට තවමත් ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගෙන නැති නවක ක්‍රීඩකයන් වන මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
29 හැවිරිදි ශිරාස් ‘ඒ’ කාණ්ඩයේ තරග 47ක් ක්‍රීඩා කරමින් කඩුලු 80ක් දවාගෙන ඇති අතර, මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග 4කදී කඩුලු 7ක් දවා ගෙන ඇත. තවමත් ‘ඒ’ කාණ්ඩයේ තරග 7ක් පමණක් ක්‍රීඩා කර ඇති 23 හැවිරිදි ඒෂාන් මාලිංග එහිදී කඩුලු 12ක් බිඳ දමා ඇති අතර, ඉන් කඩුලු 9ක්ම දවාගෙන ඇත්තේ මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග 3කදීය.
මීට අමතරව අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට නම් කිරීමට ද කටයුතු කර තිබේ.
ඉන්දීය පිලට රෝහිත්, කෝලි, අයියර් සහ රාහුල්ට අමතරව කුල්දීප් යාදව් සහ තවමත් ජාත්‍යන්තර තරග වරම් ලබා නැති 22 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා ද සංචිතයට එක්ව සිටී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ජාත්‍යන්තර එක්දින තරග 168කදී හමුව ඇති අතර, ඉන් තරග 99ක් ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව තරග 57ක් ජය ගනිද්දී තරග 11ක් විසඳුමකින් තොරව ද තරගයක් ලකුණු සමවීමෙන් ද නිමා වී තිබේ.
අවසන් වරට 2021 වසරේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකා පිල අවසන් වරට ඉන්දියාව පරාජය කර ඇති අතර, ඉන් අනතුරුව හමුවූ තරග 6ම ඉන්දියාව ජයගෙන ඇත.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ඒෂාන් මාලිංග.
ඉන්දීය එක්දින සංචිතය
රෝහිත් ශර්මා, ශ්‍රේයාස් අයියර්, විරාට් කෝලි, රිෂාබ් පාන්ට්, රියාන් පරාග්, ලෝකේෂ් රාහුල්, ශුබ්මන් ගිල්, ශිවම් ඩුබේ, අක්සර් පටෙල්, වොෂිංටන් සුන්දර්, කලීල් අහමඩ්, අර්ෂදීප් සිං, හර්ෂිත් රානා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්.