ක්‍රීඩා ඇමැති හරින් තම බලතල දෙවැනියාට පවරයි
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සතු අමාත්‍යාංශ බලතල අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වෙත පවරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) ව්‍යවස්ථාවට අනුව තමන් වෙත පවරා ඇති විෂයයන් හා කාර්යයන් පසුගිය වසරේ දෙසැම්බර් මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පවරා දෙනු ලබන බව ඇමැතිවරයා නිවේදනය කර ඇත.
ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අයවැය, රාජ්‍ය අයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ඇමැතිවරයා වෙත පවරාදී තිබේ.
එමෙන්ම තරුණයන් සමාජ විරෝධී අංශ වෙත යොමුවීම වළක්වමින් පාසල් අධ්‍යාපනයේ සිට විෂය බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් ද, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ හරහා ද, ක්‍රීඩා කටයුතු තාරුණ්‍ය වෙත හඳුන්වාදීම සඳහා වැඩපිළිවෙළක් සකස්කිරීම ද රාජ්‍ය ඇමැතිවරයාට පැවැරී ඇත.
අධ්‍යාපනයට අමතරව ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා සඳහා පාසල් දරුවන් ආකර්ෂණය කිරීම මඟින් සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, දිවයින පුරා විසිරී ඇති ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කාලයේ සිටම හඳුනාගෙන ඔවුන්ගේ කුසලතාවයන් ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන ඒමට අවශ්‍ය නිසි පෝෂණය සහ පුහුණුව ඇතුළු පහසුකම් සපයන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ක්‍රීඩා උපදේශකයන්, පුහුණුකරුවන් සහ භෞතික චිකිත්සකයන් වැනි ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය සම්පත්දායකයන් බිහිකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, දිවයින පුරා පිහිටි ක්රීඩාගාර හා ක්‍රීඩා භූමි පිළිගත් ප්‍රමිතිකරණයට ලක් කොට ඒවා ඊට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීම, ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ භාණ්ඩ බෙදා දීම, දේශීය සම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රීඩා අධ්‍යාපනය පුළුල් කිරීම, ක්‍රීඩා අධ්‍යාපනය, පුහුණුව හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම වැනි විෂයන් පවරා ඇති බලතල වේ.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය, ක්‍රීඩා වෛද්‍ය ඒකකය හා ජාතික ක්‍රීඩා විද්‍යායතනය ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා යටතට පත්කොට තිබේ.