ICC වසරේ නැඟීඑන ක්රිකට් ක්රීඩකයා සම්මානයට කමිඳු නිර්දේශ වෙයි
අන්තර්ජාතික ක්රිකට් සභාව විසින් සකස් කරනු ලැබ, පසුව ක්රීඩකයන් 4 දෙනකු දක්වා කෙටි කරන ලද 2024 වසරේ විශිෂ්ටතම නැඟී එන ක්රීඩකයන්ගේ ලයිස්තුවට කමිඳු මෙන්ඩිස් ඇතුළත් වී තිබේ. පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම නැගී එන ක්රීඩක ක්රීඩිකාවන්ගේ ලයිස්තුවට රටවල් 8 ක ක්රීඩක ක්රීඩිකාවෝ එක්ව සිටිති.
වසරේ විශිෂ්ටතම නැඟීඑන ක්රීඩකයා තෝරා ගැනීමේදී ක්රිකට් ක්රීඩාවේ ආකෘති තුනේදීම දස්කම් පෙන්වන ක්රීඩකයන් සලකා බැලෙනු ඇත. එහිදී නැඟීඑන ක්රීඩකයන්ගේ කාණ්ඩයම බෙහෙවින් උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරයි. කමිඳු මෙන්ඩිස්ට අමතරව එංගලන්තයේ ගස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේ ෂෙමාර් ජෝෂප් මෙම ලයිස්තුවට එක්ව සිටිති.
කමිඳු මෙන්ඩිස් 2024 වසරේදී ටෙස්ට් තරග 9 කින් ලකුණු 1049 ක්ද, එක්දින තරග 7 කින් ලකුණු 104 ක්ද විස්සයි-20 තරග 17 කදී ලකුණු 298 ක් ද රැස්කර තිබේ.
වසරේ විශිෂ්ටතම නැඟී එන ක්රීඩිකාවට හිමි සම්මානය සඳහා දකුණු අප්රිකාවේ ඇන්රි ඩර්ක්සන්, ස්කොට්ලන්තයේ සස්කියා හෝලේ, ඉන්දියාවේ ශ්රෙයන්කා පතෙල් සහ අයර්ලන්තයේ ෆ්රෙයා සර්ජන්ට් නිර්දේශ වී සිටිති. මේ ක්රීඩිකාවෝ සිව් දෙනාම 2024 වසරේදී එක්දින සහ විස්සයි-20 තරගවලදී කැපී පෙනෙන දස්කම් පෙන්වූවෝ වෙති.
අන්තර්ජාතික ක්රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙල සඳහා තෝරා ගනු ලබන තවත් කාණ්ඩ 7 ක් සඳහා නිර්දේශ කෙරෙන ක්රීඩක ක්රීඩිකාවන්ගේ නම් හෙට (29) සහ අනිද්දා (30) නිවේදනය කෙරෙනු ඇත.
මෙම එක් එක් කාණ්ඩවල ජයග්රාහක ජයග්රාහිකාවන් අන්තර්ජාතික ක්රිකට් සභාවේ නිල වෙබ් අඩවිය හා ලියාපදිංචි වී සිටින ක්රිකට් ලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනේ. එහෙත් එය අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාවේ වෘත්තීමය වශයෙන් නිරතව සිටින ප්රවීන නිවේදක නිවේදිකාවන්ගෙන්, සහ ක්රිකට් ලේඛක ලේඛිකාවන්ගෙන් සමන්විත මණ්ඩලයක අනුමැතියට යටත්ව, තෝරාගනු ලබනු ඇත.
2024 අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාවේ සම්මාන ලයිස්තුවට සම්මාන 12 ක් ඇතුළත් වේ. ඊට අමතරව වසරේ හොඳම කණ්ඩායම් 5 ක් ද මෙම විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගනු ලබයි.
2025 ජනවාරි මස අග භාගයේදී 2024 වසරේ විශිෂ්ටතම ක්රීඩක ක්රීඩිකාවන්ගේ ලයිස්තුව ප්රකාශයට පත්කිරීමට නියමිතය.