Cricket NewsEXCLUSIVEInternational

ශූරයන්ගේ කුසලානයේ මුළු තෑගි මල්ලේ වටිනාකම 2017දී අවසන් වරට පිරිනමන ලද මුළු ත්‍යාග මුදලට වඩා 53%ක වැඩි කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන අයිසීසී එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන පිරිමි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය (ICC Champions Trophy) මෙවර 9 වැනි වතාවට පැවැත්වෙන්නේ වසර 8ක දිගු නිහැඬියාවකින් පසුවයි.

ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් නවයක් පමණක් සහභාගි කරවාගෙන 1998 වසරේදී මේ තරගාවලිය ආරම්භ කරනු ලැබූ අතර, ඉන් ලැබෙන ආදායමෙන් එවකට ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ආධාර කිරීම අයිසීසීයේ ප්‍රධාන අරමුණ විය.

එවන් යහපත් අරමුණක් සහිතව වසර දෙකකට වරක් පැවැත්වීමේ ආකෘතිය සහිතව එම ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉදිරියට පවත්වාගෙන ගියද අයිසීසීය විසින් ගන්නා ලද විවිධ තීන්දු තීරණ හේතුවෙන් 2006 වසරින් පසුව තරගාවලිය පැවැත්වුණේ 2009, 2013 හා 2017 වසරවලදීය. 2005 වසරේදී විස්සයි20 ක්‍රිකට් තරග ආකෘතිය අන්තර්ජාතික වශයෙන් හඳුන්වා දීමත්, 2007 වසරේදී ප්‍රථම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අයිසීසීය විසින් ක්‍රියාත්මක කිරීමත් යන කාරණාද එම තරගාවලියේ කාල පරාසයන් එවන් ආකාරයෙන් වෙනස් වීමට හේතු පාදක විය.

ඒ අනුව වසර අටකට පසුව හෝ යළිත් 9 වැනි වතාවටත් ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19දා සිට මාර්තු 9දා දක්වා පැවැත්වීමට අයිසීසීය තීරණය කර ඇත්තේ වඩාත් ආකර්ෂණීය තැගි මල්ලක් සහ විශේෂ පුවත් මවන පරිසරයක්ද සමඟය. එනම්, 2017 වසරෙන් පසු පළමු වතාවට මෙවර පවත්වනු ලබන අයිසීසී පිරිමි ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කණ්ඩායම් අටටම පිරිනැමෙන මුළු තෑගි මල්ලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6.9කි. මෙය 2017දී අවසන් වරට පිරිනමන ලද මුළු ත්‍යාග මුදලට වඩා 53%ක වැඩි වීමකි.

අනෙක් අතට මේ තරගාවලිය විශේෂ පුවත් මවන්නක් බවට සඳහන් කළේ අපේ රටටත් සත්කාරක පාකිස්තානයටත් අදාළ යම් යම් කරුණු නිසාය. එනම් වසර 27ක් කරා දිව යන මේ අයිසීසී ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ශ්‍රී ලංකාවට අවස්ථාව අහිමි වී ඇත. හේතුව මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් තෝරා ගැනීමට පාදක කරගත් පසුගිය 2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා ප්‍රමාණවත් නොවීමයි. ඒ අනුව 2002 වසරේ පැවැති 3 වැනි ශූරයන්ගේ කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියෙන් ඉවත් කර එම ස්ථානය ඇෆ්ගනිස්ථානයට දී ඇති අතර 2006 දී ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට අත් වී ඇත්තේද ඒ ඉරණමයි.

එක්දින තරග 15කින් යුක්තව දින 19ක් පුරා දිවා/ රාත්‍රී ලෙස පැවැත්වෙන මෙවර තරගාවලියේ ඇෆ්ගනිස්තානය එසේ කෝඩුකාරයන් බවට පත් වෙද්දී සත්කාරක පාකිස්තානයට තරග 4ක හෝ 5ක සත්කාරකත්වය අහිමි කරන ලද්දේ ඔවුන්ගේ පරම දේශපාලන සතුරා වන ඉන්දියාව විසිනි. එනම්, ඉන්දියාව පාකිස්තානය තුළදී තරග වැදීමට ඇති අකැමැත්ත හේතුවෙන් ඉන්දියාව සහභාගි වන තරග 4ක් (ඉන්දියාව අවසන් පූර්ව වටයට පැමිණිය හොත්) ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශය, පාකිස්තානය හා නවසීලන්තය සමඟ පිළිවෙළින් පෙබරවාරි 20, 23 හා මාර්තු 2 යන දිනවලට නියමිත තරග 3ක් වත් අවම වශයෙන් ඩුබායිහිදී පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලැබුව හොත් එම තරගයද ඩුබායිහිදී පැවැත්වෙන 5වැනි තරගය වනු ඇත.

කෙසේ වෙතත් වත්මන් ශූරයන් ලෙස සැලකෙන පාකිස්තානය 2017 වසරේ එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී වාර්තාගත ලෙස ඉන්දියාව පරාජයට පත් කළ අතර, 1998 දී මංගල කිරුළ දිනා ගත්තේ කොදෙව්වන් පැරදවූ දකුණු අප්‍රිකාවයි. කණ්ඩායම් 11ක් සහභාගි වූ 2000 වසරේ කෙන්යාවේ පැවැති තරගාවලියේදී අවසන් තරගයෙන් ඉන්දියාව පැරදවූ නවසීලන්තය කුසලානය හිමි කරගත් අතර, 2002 වසරේදී මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවිය. කණ්ඩායම් 12ක් (මෙතෙක් වැඩිම කණ්ඩායම් ගණන) සහභාගි වූ එම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමව බෙදාගැනීමද විශේෂත්වයකි. එසේම 2004 දී බටහිර ඉන්දීය කොදෙව්වන් 2006 හා 2009 යන වසර දෙකේදීම ඔස්ට්‍රේලියාව, 2013 වසරේදී ඉන්දියාව යනාදි වශයෙන් මේ තරගාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස සඳහන් වේ.

තවද, මෙවර කුසලානය දිනාගන්නා ශූරයන්ට ඩොලර් මිලියන 2.24 හිමි වන අතර, අනුශූරයන්ට ඩොලර් මිලියන 1.12ක් ලැබෙනු ඇත. අවසන් පූර්ව වටයට පැමිණ පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් හිමි වන විට තරගාවලියේ 5 වැනි හා 6 වැනි ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් දෙකට ඩොලර් 350,000 බැගිනුත්, 7 වැනි හා 8 වැනි ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් දෙකට ඩොලර් 140,000 බැගිනුත් ප්‍රදානය කරනු ඇත. එසේම පළමු වටයේ සෑම කාණ්ඩයකම තරග ජයග්‍රහණය කරන කණ්ඩායමකට ඩොලර් 34,000කට වඩා වටිනා ත්‍යාග මුදල් හිමි කරගැනීමේ අවස්ථාව ලැබෙන අතර, ඊට අමතරව මේ අයිසීසී පිරිමි ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගිත්වය වෙනුවෙන් කණ්ඩායම් අටටම ඩොලර් 125,000 බැගින් පිරිනැමීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button