ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..
ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ගමන් ආරම්භ කිරීමට සිටි බාබඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමීම නිසා ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටින හෝටලයේ තවමත් සිරවී සිටියි. රෝහිත් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ වන විට බාබඩෝස් වෙරළට ආසන්න තරු පහේ හෝටලයක නැවැතී සිටින අතර, ඒ ආසන්නයෙන් මෙම බෙරිල් සුළි කුණාටුව ගමන් ගන්නා බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ ගුවන්තොටුපළ ඉරිදා රාත්‍රියේ සිට වසා දමන බව බාබඩෝස් අගමැතිනි මියා මොට්ලි ප්‍රකාශ කළාය. දැනටමත් සුළි කුණාටුව සමඟ පොද වැස්සක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ගුවන්තොටුපළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩායමට බාබඩෝස් හි කඳවුරු බැඳීමට සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.ඉන්දීය කණ්ඩායම බාබඩෝස් සිට නිව්යෝර්ක් වෙත පැය 4කට ආසන්න කාලයක් පියාසර කොට ඩුබායි හරහා ඉන්දියාවට පැමිණීමට කලින් සැලසුම් කොට තිබුණද, නිව්යොර්ක් සිට කුලියට ගත් විශේෂ ගුවන් යානයක් මඟින් (Direct Chartered Flight) නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත පැමිණීමට දැන් කටයුතු යොදා ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දැනුම්දීමට අනුව ඉන්දීය ක්‍රීඩකයින් පළමුව ලෝක කුසලානයද සමඟ අගමැතිවරයා හමුවීම සැලසුමවී තිබේ.
මෙම මුහුදු සුළි කුණාටුව අද අලුයම බාබඩෝස් හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පැය 36ක් 48ක් අතර කාලයක් සිරවී සිටිය හැකි බව සඳහන් කර ඇත. ඉන්දීය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් හෝටලයේ සම්පූර්ණයෙන්ම පිරී ඇති අතර, කිසිවෙකුට පිටතට යාමට අවසර නැත. විදෙස් වාර්තාවලට අනුව හෝටලයේ කාර්ය මණ්ඩලය ද සීමිතය. ඉන්දීය ක්‍රීඩකයින්ට පෝලිම්වල සිටගෙන රාත්‍රී ආහාරය ගැනීමට සිදුවූ බව පැවැසේ. බාර්බඩෝස්හි ඇඳිරි නීතිය වැනි වාතාවරණයක් පවතින අතර, කුමකින් කුමක් වන්නේද යන්න කිසිවෙකුත් නොදන්නා බව වාර්තාවල සඳහන් වේ.
මේ අතර ඉන්දීය කණ්ඩායම පැමිණි වහාම රුපියල් කෝටි 125ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතා ප්‍රකාශයට පත් කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 457කි. මෙය ලෝක කුසලාන ජය වෙනුවෙන් අයිසීසීය ශූරයින්ට ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.45ට (රුපියල් කෝටි 747ට) අමතරව ලැබෙන තෑග්ගති.
බාබඩෝස් හි පැවති තියුණු අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් වූයේ විස්සයි20 ආකෘතියෙන් ඔවුන් හිමිකරගත් දෙවැනි ලෝක ශූරතාව සටහන් කරමිනි.