Cricket NewsEXCLUSIVEInternational

ඉතිහාසයේ පළමුවරට අපරාජිතයන් තරගවදින විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි.

නවවැනි වරට පැවැත්වෙන අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් පිටියේදී අද (29) පැවැත්වෙයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.

මේ දෙපිලම අපරාජිතයන් ලෙස අද තරගයට එක් වන අතර, ඒ අනුව අද ශූරතාව හිමි කර ගන්නා කණ්ඩායම ඉතිහාසයට එක් වන්නේ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අපරාජිතව ශූරතාව දිනාගත් පළමු කණ්ඩායම ලෙසිනි.

එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක් ද ශූරයන්ට හිමිවනු ඇත. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 74ක් පමණ වේ. අනුශූරයන්ට ඩොලර් 1.28ක් හෙවත් රුපියල් කෝටි 38කට ආසන්න මුදලක් හිමිවෙයි.

දෙවැනි විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඉන්දියාව අද තරග බිමට පිවිසෙයි. තරගාවලිය ආරම්භ වූ 2007 වසරේ ශූරයන් වූ ඔවුන් 2014 වසරේ ශ්‍රී ලංකාව හමුවේ අනුශූරයන් බවට පත්ව තිබේ. දකුණු අප්‍රිකාව තරගයට එක් වන්නේ ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක කුසලානය දිනා ගැනීමේ අරමුණෙනි.

විස්සයි20 පිටියේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව 26 වරක් හමුව ඇති අතර, ඉන් තරග 14ක් ජය ගැනීමට ඉන්දියාව සමත් වෙද්දී දකුණු අප්‍රිකාව තරග 11ක් ජයගෙන තිබේ. මේ තරග අතුරින් 6ක් ලෝක කුසලාන තරගාවලිවලදී වන අතර, ඉන් තරග 4ක් ඉන්දියාවත් තරග 2ක් දකුණු අප්‍රිකාවත් ජයගෙන ඇත.

ඉන්දියාව මෙවර තරගාවලියේ මූලික වටයේදී අයර්ලන්තය, පාකිස්තානය සහ අමෙරිකාව පරාජය කළ අතර, කැනඩාවට එරෙහිව තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිනි. සුපිරි අට වටයේදී ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක්වූ ඉන්දියාව එහිදී පසුගිය ශූර එංගලන්තයට එරෙහිව ලකුණු 68ක් ජයක් සමඟ අවසන් තරගයට එක් විය.

දකුණු අප්‍රිකාව අපරාජිතව අවසන් තරගයට එක්වුවද ඔවුන් අවස්ථා ගණනාවකදී පරාජය අසලටම ගොස් තිබිණි. ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයකින් මූලික වටය ඇරඹූ දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4ක, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 4ක සහ කෝඩුකාර නේපාලයට එරෙහිව එක් ලකුණක ජයක් වාර්තා කළේය. සුපිරි අටේදී අමෙරිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සියුම් ජයග්‍රහණය වාර්තා කළ අතර, අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ට ජයකින් (කඩුලු 9) අවසන් තරගයට පිවිසියේය.

අවසන් පූර්ව වටයේදී පරාජය වූ එංගලන්තයට සහ ඇෆ්ගනිස්තානයට අමෙරිකානු ඩොලර් 787,500ක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 24 බැගින් හිමි විය.

මේ වන විට තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභියා සහ තෙවැනි ලකුණුලාභියා තමන් සතුවීම අද තරගයේදී ඉන්දියාවට අමතරව වාසියක් වනු ඇත. අර්ෂ්දීප් සිං කඩුලු 15ක් දවාගෙන ඇති අතර, ජස්ප්‍රීට් බුම්රා (5) ද දකුණු අප්‍රිකාවේ ඉදිරියෙන්ම පසුවන ඇන්රිච් නොර්ට්ජේට (7) වඩා ඉදිරියෙන් සිටි. ඔවුන් දෙදෙනා කඩුලු 13 බැගින් දවාගෙන ඇත.

ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 248ක් සමඟ පිතිකරුවන් අතර තෙවැනි තැන පසු වන අතර, ඉහළින්ම සිටින දකුණු අප්‍රිකානු පිතිකරු වන ක්වින්ටන් ඩි කොක් (8) රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 204කි. මේ වන විට තරගාවලියේ පන්දු යවන්නන් (ෆසල්හක් ෆරුකි) සහ පිතිකරු (රහ්මනුල්ලාහ් ගුර්බාස්) අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇෆ්ගන් ක්‍රීඩකයන් වීම කැපීපෙනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button