Cricket NewsEXCLUSIVEInternational

අපරාජිත ඉන්දු – දකුණු අප්‍රිකා ගැටෙන අවසන් සටන හෙට බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29 වැනිදා) රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයකට ක්‍රීඩා කරන තෙවැනි අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකාව අවසන් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

මින් පෙර 2007, 2014, 2016 සහ 2022 යන වසරවලදී විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගවලට ක්‍රීඩා කර ඇති ඉන්දියාව, 2007 වසරේදී එහි ශූරතාවත්, 2014 වසරේදී අනු ශූරතාවත් හිමිකරගෙව තිබේ. කෙසේ වුවත් 2009 සහ 2014 වසරවලදී අවසන් පූර්ව වටයට පැමිණ ඇති දකුණු අප්‍රිකාවට එම අවස්ථා දෙකේදීම පරාජයට පත්වීම හේතුවෙන් අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී නොමැත.

මේ දක්වා පැවැති ‍විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 9 තුළ තරග 6 කදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර ඉන් තරග 4 කදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ඉන්දියාවත්, තරග 2 කදී ඉන්දියාව පරාජය කිරීමට දකුණු අප්‍රිකාවත් සමත්ව තිබේ. දෙරට අතර පවත්වා ඇති විස්සයි-20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 26 ක් වන අතර ඉන් 14 ක ජය ඉන්දියාවටත්, 11 ක ජය දකුණු අප්‍රිකාවටත් හිමිව තිබේ.

මෙවර තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණි ගමනේදී දෙපිලම මූලික වටයේදී සහභාගි වූ තරග 4 මෙන්ම සුපිරි 8 දෙනා‍ගේ වටයේදී සහභාගි වූ අතර 3 ද ජයගනිමින් අපරාජිත බව රැකගෙන සිටියි. ඒ අනුව මෙවර අවසන් මහ තරගය අපරාජිතයන්ගේ සටනක් ලෙස හැඳින්විය හැකි අතර එහිදී කණ්ඩායම් දෙක අතර අතිශය තියුණු සටනක්ද බලාපොරොත්තු විය හැකිය.

මූලික වටයේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ, සුපිරි 8 දෙනාගේ වටයේදී එංලන්තය, ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පරාජය කිරීමට සමත් විය. මූලික වටයේදී පාකිස්තානය, ඇමරිකාව, කැනඩාව, සහ අයර්ලන්තය පරාජය කළ ඉන්දියාව, සුපිරි 8 දෙනා‍ගේ වටයේදී ඇෆ්ඝනිස්ථානයට, බංග්ලාදේශයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළේය.

කණ්ඩායම් දෙකේ පිතිකරුවන් දෙස බලන කළ ඉන්දීය කණ්ඩාය‍ම නායක රෝහිත් ශර්මා, සූර්යකුමාර් යාදව්, හර්දීක් පාණ්ඩ්‍යා සහ රවින්ද්‍ර ජදේජා වැනි ප්‍රවේගකාරී පිතිකරුවන්ගෙන්ද, දකුණු අප්‍රිකානු කණ්ඩායම නායක ඒඩ්න් මාක්‍රම්, ක්වින්ටින් ඩි’කොක්, හෙන්රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන්ගෙන්ද සමන්විත වේ.

කුල්දීප් යාදව් සහ අක්සර් පටේල් ඉන්දීය කණ්ඩායමේද, තබ්‍රේෂ් ශම්ෂි සහ කේෂව් මහරාජ් දකුණු අප්‍රිකානු කණ්ඩායමේද දඟ පන්දු බලෑණි ශක්තිමත් කරති. ජස්ප්‍රීට් බුම්රා සහ අර්ෂ්දීප් සිං ඉන්දියාව වෙනුවෙන්ද, කගිසෝ රබාඩා සහ ඇන්රික් නොකියා දකුණු අප්‍රිකාව වෙනුවෙන්ද මෙවර තරගාවලියේදී වේග පන්දුවෙන් දස්කම් දක්වා ඇත.

මෙවර තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.45 ක මුදලක්ද, අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක මුදලක්ද පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටියි. අවසන් පූර්ව වටයේදී පරාජයට දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූ ඇෆ්ඝනිස්ථානයට සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ එංගලන්තයටද ඇමරිකානු ඩොලර් 787,500 බැගින් හිමිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button