Cricket NewsEXCLUSIVEIPLPremier League

අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් – ඉහළම මූලික ලන්සුව ඇන්ජලෝ මැතිව්ස්

මෙම මස 19 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2024) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වේ. ඔවුන් අතර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 25 දෙනෙක් සහ තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් 7 දෙනෙක් සිටින බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.9 ක් පමණ) ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටින එකම ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 24 දෙනෙක් එම ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටිති.

ඉකුත් වසර දෙකේදී (2022 සහ 2023) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළද, මෙම වසරේදී එම කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු හසරංග, ලියාපදිංචි වී ඇත්තේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 1.5 ක ලන්සුව සඳහාය. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.9 ඉක්මවයි.

මැතිව්ස් සහ වනිඳු හැරණුකොට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත යන ජාත්‍යන්තර වරම් දිනා ඇති ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන්ද මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම ඩිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ ලක්ෂාන් සඳකැන් යන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ද වෙන්දේසිය සඳහා ලියාපදිංචි ඇති පිරිස අතර වෙති.

වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ ෂෙවෝන් ඩැනියෙල්, ලසිත් කෲස්පුල්ලේ, ටේ‍රවීන් මැතිව්, ළහිරු සමරකෝන්, කෙවින් කොත්තිගොඩ, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංඛේත්ය.

මෙවර වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කර ගැනීම ඉකුත් සිකුරාදා (1 වැනිදා) නිමාවට පත්වූ අතර ලොව පුරා ක්‍රීඩකයන් 1166 දෙනෙක් ඒ වන විට වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටියහ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයන් 830 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 336 ක් සිටිති. එහෙත් ඔවුන් අතරින් ජාත්‍යන්තර වරම් දිනා ඇත්තේ ක්‍රීඩකයන් 212 දෙනෙක් පමණි.

මෙවර වෙන්දේසියේදී කණ්ඩායම්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රීඩකයන් 77 දෙනෙක් තෝරාගැනීමට නියමිත අතර එහිදී විදෙස් ක්‍රීඩකයන් සඳහා ඇත්තේ ස්ථාන 30 ක් පමණි. එබැවින් ලියාපදිංචි වී සිටින සියලුම ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකරන අතර තෝරා ගැනීමකින් අනතුරුව කෙටි ලැයිස්තුවක් සකස්කර ඊට ඇතුළත් වන ක්‍රීඩකයන් පමණක් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත.

ඉකුක් වසරේ (2023) පැවැති අයි.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමටත්, දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටත්, චාමික කරුණාරත්න කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමටත් ඇතුළත්ව සිටියහ. එහෙත් ඔවුන් අතරින් මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රැදී සිටීමට අවස්ථාව උදා වූයේ මහීෂ් තීක්ෂණට සහ මතීෂ පතිරණට පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button