කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පියවරක් ඉහළට
අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන කමිඳු මෙන්ඩිස් තවත් එක් ස්ථානයක් ඉදිරියට ගොස් තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කමිඳු 7 වැනි තැන සිට 6 වැනි තැන හිමිව ඇත. ඒ සමඟ සිය හොඳම පෞද්ගලික ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 759ක් ලෙස ඉහළ දමා ගැනීමට ද ඔහුට හැකිව තිබේ.
මේ ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙෙනන වෙනස සිදු කරමින් පළමු ස්ථානයේ සිටි එංගලන්තයේ ජෝ රූට් දෙවැනි තැනට දමා සිය කණ්ඩායමේ සගයකු වන හැරී බෲක් පළමු ස්ථානයට පත් වීමය. බෲක් ශ්‍රේණිගත ලකුණු 898ක් ලබා සිටින අතර, රූට්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 897කි. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ස්ථාන 6කින් ඉදිරියට ගොස් 5 වැනි තැනට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ වීරයා වූ ටෙම්බා බවුමා 7 වැනි තැනට පත්ව සිටියි.
දිනේෂ් චන්දිමාල් (15) සහ ඇන්ජලෝ මැතිව්ස් (22) ස්ථාන 2ක් ඉදිරියට එද්දී ධනජංය ද සිල්වා (16) එක් ස්ථානයක් සහ දිමුත් කරුණාරත්න ස්ථාන 2ක් පහත වැටී තිබේ. කුසල් මෙන්ඩිස් 44 වැනි තැනම සිටින අතර, පැතුම් නිශ්ශංක ස්ථාන 12ක් ඉදිරියට එමින් 45 වැනි තැනට පත්ව ඇත.
ටෙස්ට් පන්දු යවන්නන්ගේ මුල් ස්ථානවල විශාල වෙනසක් සිදුව නැති අතර, ප්‍රභාත් ජයසූරිය 8 වැනි තැනම සිටියි. විශ්ව ප්‍රනාන්දු (28) එක් ස්ථානයක්, ළහිරු කුමාර ස්ථාන (32) ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇති අතර, අසිත ප්‍රනාන්දු (14) එක් ස්ථානයක් පහත වැටී තිබේ.