Cricket NewsEXCLUSIVELPLPremier League

ශඩාබ් ඛාන්ගෙ කඩුළු ත්‍රිත්වයෙන් කොළඹ කණ්ඩායම නුවර පරදා ලකුණු 51ක ජයක් ලබා ගනී.

කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාලගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එල්පීඑල් තරගාවලියේ තෙවැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පිල පරදවා ලකුණු 51ක ජයක් හිමි කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (2) රාත්‍රියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කලම්බු පිල දුන් ලකුණු 199ක ඉලක්කය හඹාගිය කැන්ඩි ෆැල්කන්ස් පිලට ඕවර 15.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 147ක් පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් රැස් කරමින් කැන්ඩි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, නායක වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාගේ කඩුලු 4 බැගින් බිඳ දැමූහ. එහිදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වූ ශදාබ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ඉනිමේ 15 වැනි ඕවරය යැවූ ඔහු සිව්වැනි පන්දුවෙන් කැන්ඩි නායක වනිඳු හසරංග දවාගත් අතර, ඉතිරි පන්දු දෙකෙන් පිළිවෙළින් අගා සල්මාන් සහ පවන් රත්නායක දවා ගනිමින් විස්සයි20 පිටියේ සිය පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 20ක් වෙද්දී බිඳ වැටුණු අතර, මුහම්මද් වසීම් සමඟ තෙවැනි කඩුල්ලට එක්වූ සධීර සමරවික්‍රම වේගවත් සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 37කදී ලකුණු 78ක් රැස් කරමිනි. පන්දු 18කින් ලකුණු 32ක් රැස් කළ වසීම් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, සධීර ලකුණු 48ක් රැස් කළේ පන්දු 26කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඉනිම අගභාගයේ නායක තිසර පෙරේරා පන්දු 30කින් ලකුණු 38ක් සහ චාමික කරුණාරත්න පන්දු 10කදී නොදැවී වේගවත් ලකුණු 25ක් ඉනිමට එක් කිරීමට සමත් වූහ. තිසර – චාමික එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 19කින් ලකුණු 41ක් රැස් කරමින් ඉනිම ලකුණු 200 ආසන්නයට රැගෙන ගියහ. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවා ගත්හ.

කලම්බු ස්ට්‍රයිකර්ස් – 198/7 (ඕවර 20) සධීර සමරවික්‍රම 48, තිසර පෙරේරා 38, මුහම්මද් වසීම් 32, චාමික කරුණාරත්න නොදැවී 25, ශදාබ් ඛාන් 20, රහ්මනුල්ලාහ් ගුර්බාස් 17 (වනිඳු හසරංග 30/2, කසුන් රාජිත 56/2)

කැන්ඩි ෆැල්කන්ස් – 147 (ඕවර 15.5) දිනේෂ් චන්දිමාල් 38, වනිඳු හසරංග 25, ඇන්ජලෝ මැතිව්ස් 25, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 24 (දුනිත් වෙල්ලාලගේ 20/4, ශදාබ් ඛාන් 22/4)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button